නිවෙස්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින්ගේ අඩුවක්

‍කොවිඩ් රෝගීන් සඳහා වූ නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමවේදය යටතේ තවදුරටත් සක්‍රිය තත්ත්වයේ පසුවන රෝගීන් සංඛ්‍යාව 5,628 දෙනෙකු දක්වා අඩුවී තිබේ.

පවුල් වෛද්‍ය විද්‍යා විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පැවසුවේ පසුගිය සති කිහිපය සමග සැසදීමේදී එය විශාල අඩුවීමක් බවය.

නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමවේදය යටතේ ඊයේ (06) දිනය වනවිට කොවිඩ් රෝගීන් 91,745 දෙනෙකු ලියාපදිංචි වී සිට ඇති අතර ඉන් 84,344 දෙනෙකු සුවය ලබා ඇත.

එම ප්‍රතිකාර ක්‍රමවේදයට යොමු කළ කොවිඩ් රෝගීන්ගෙන් රෝහල් වෙත යොමු කර ඇත්තේ  1%ක ප්‍රතිශතයකි.

එනම් රෝගීන් 1,330 දෙනෙකු පමණක් බව විශේෂඥ වෛද්‍ය  මල්කාන්ති ගල්හේන මහත්මිය පැවසීය.

මේ අතර ඊයේ මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් ගණන 776කි.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 522,778 ක් දක්වා ඉහළගොස් ඇති අතර 478,326 දෙනෙකු ප්‍රතිකාර කාලසීමාව අවසන් කර ඇතැයි වසංගත රෝග විද්‍යා අංශ වාර්තාවේ සඳහන්ය.

තවදුරටත් ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 31,267කි.

මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,185ක් දක්වා ඉහළ ගොස් තිබේ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com