වයස අවුරුදු 20ට වැඩි සියලු පුද්ගලයින් සඳහා තෙවන මාත්‍රාවක් ලෙස ෆයිසර් එන්නත ලබාදීමට තීරණය කර ඇති බව ඖෂධ සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
ඒ සඳහා අවශ්‍ය එන්නත් මාත්‍රා මිලියන 14.5ක් මිලදී ගැනිමට අදාළ කටයුතු මේ වන විට සිදුකරමින් පවතින බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.
“ඊයේ දිනයේ දී රාජ්‍ය ඖෂධ නීතිගත සමාගම ෆයිසර් සමාගම සමඟ එකඟතාවයකට එලඹුණා තවත් ෆයිසර් එන්නත් මිලියන 14.5ක ලබාගැනීම සඳහා. මෙම එන්නත් ප්‍රමාණය ඉදිරියේ දී අප සැලසුම් කරලා තියෙන්නේ මේ වෙනවිට පළමු හා දෙවන මාත්‍රාව සම්පූර්ණ කරලා තියෙන අපේ රටේ අවුරුදු 20ට වැඩි සියලුදෙනාටම බූස්ටර් එන්නතක් ලෙස ලබාදීමට. එහි ආරම්භක වැඩපිළිවෙල ලෙස අවුරුදු 60ට වැඩි වෙනත් ආබාධ තියෙන අය, ඒ වගේම ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයින් ට හා ආරක්ෂක අංශ සාමාජිකයින්ට තුන්වන මාත්‍රාව ලෙස ෆයිසර් ලබාදීමට නියමිතයි ඉදිරියේ දී.”
පාසල් ළමුන් සඳහා සිදුකරනු ලබන එන්නත්කරණ වැඩපිළිවෙල පිළිබඳව ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළේය.
“අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි සති දෙක තුළ උසස් පෙළ සිසුන්ට ෆයිසර් එන්නත් ලබාදෙන්න. පාසල්වල එම කටයුතු සිදුකිරීමටයි අපේ බලාපොරොත්තුව. ඒ සඳහා මුලික කටයුතු සුදානම් කිරීමට මේ වන විටත් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට සහ දිස්ත්‍රික් වසංගත රෝග විශේෂඥයින්ට උපදෙස් ලබාදීලා තියෙනවා. මේ සඳහා අවශ්‍ය ෆයිසර් එන්නත් මාත්‍රා යම් ප්‍රමාණයක් අප සතුව දැනටත් තියෙනවා. ඉදිරි සති 3 තුළ තවත් ලක්ෂ 10ක් ලැබීමට නියමිතයි. ඒ වගේම ලක්ෂ 17ක් නොවැම්බර් හා දෙසැම්බර් මාසවල ලැබීමට නියමිතයි.”
වසංගත රෝග විද්‍යා අංශයේ දත්තවලට අනුව මේ වන විට මෙරට වයස අවුරුදු 20ට වැඩි ජනගහණයෙන් සියයට 83ක ප්‍රතිශතයක් කොවිඩ් මර්දන එන්නත්කරණය සම්පූර්ණ කර තිබේ.
මේ අතර, ගත වූ දිනයේ පුද්ගලයින් 141,149 දෙනෙකුට කොවිඩ් මර්දන එන්නත් ලබදී ඇත.
එහිදී පළමු එන්නත් මාත්‍රාව 15,502 දෙනෙකුට ලබාදී ඇති අතර දෙවන මාත්‍රාව 125,647 දෙනෙකු සඳහා ලබාදී තිබේ.
More Stories
චීන තානාපතිවරයා හා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර හමුවක්
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජපුර විශ්වවිද්‍යාලයෙන් රුසියානු භාෂා ඩිප්ලෝමා පාඨමාලාවක්