සිංගප්පූරුව කොවිඩ් පාලන සීමා ලිහිල් කරයි

ලබන 13 වැනි දා සිට එක්සත් රාජධානිය ඇතුළු රටවල් කිහිපයක වෙසෙන කොවිඩ් මර්දන එන්නත ලබාගත් සංචාරකයන් රටට ඇතුළු කරගැනීමට සිංගප්පූරුව තීරණය කර තිබේ.

ඒ අතර දැනට ක්‍රියාත්මක කොවිඩ් පාලන සීමා රැසක් ලිහිල් කෙරෙනු ඇත.

සිංගප්පූරුවේ කොවිඩ් වෛරස ආසාදිතයන්  120,000 ඉක්මවා ඇතත් මරණ වාර්තාවී තිබෙන්නේ 153ක් වැනි ඉතා අඩු අගයකි.

දෛනික ආසාදිතයන් ඉහළ යෑමත් සමග වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා එරටට දැඩි සංචරණ සීමා පැනවිණි.

ඉන් රටේ ව්‍යාපාරික කටයුතුවලට මෙන්ම සංචාරක ව්‍යාපාරයටත් එල්ල වුණේ දැඩි බලපෑමකි.

එරට අගමැති ලී සියැන් ලූන් පවසන්නේ කොවිඩ් සමග ජීවත්වීමේ උපායමාර්ගය ක්‍රියාවට නැංවීම සඳහා සුදුසු කාලය මෙය බවය.

ඒ අනුව රට පුරා ක්‍රියාත්මක දැඩි සංචරණ සීමා ලිහිල් කිරීමට ඔහු පියවර ගෙන තිබේ.

ඒ යටතේ එන්නත ලබාගත් පුද්ගලයන් සඳහා භෝජනාගාරවලදී ආහාරපාන ලබාගැනීමටත් සාප්පු සවාරිවල නිරත වීමටත් අවසර හිමිවනු ඇත.

ඉගැන්වීම් කටයුතු තවදුරටත් මාර්ගගත ක්‍රමයට සිදුකිරීම සඳහා දිරිමත් කරන නමුත් වයස අවුරුදු 12න් පහළ ළමුන් සඳහා පාසල් යළි විවෘත කිරීමට ඉඩ ලබා දී තිබේ.

සිංගප්පූරුව දැනටමත් ජර්මනිය සහ බෘෘනායි යන රටවල එන්නත් ලබාගත් සංචාකරයන් සඳහා රට විවෘත කර ඇත.

එහි සාර්ථකත්වය මත තවත් රටවල් 9ක එන්නත ලබාගත් සංචාරකයන් සඳහා නිරෝධායනයෙන් නිදහස් සංචාරක ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ.

අමෙරිකාව, එක්සත් රාජධානිය, කැනඩාව ඇතුලු රටවල් 8කට ලබන 13 වැනි දා සිටත් නොවැම්බරයේ සිට දකුණු කොරියාවටත් එසේ රට විවෘත කිරීමට නියමිතය.

කෙසේ වෙතත් සංචරණ සීමා ලිහිල් කිරීමේදී වෛරස ආසාදන යළි ඉහළ යෑමේ ඉඩක් පවතින බවටත් අගමැතිවරයා පිළිගෙන තිබුණි.

මේ අතර, ලබන 14 වැනි දා සිට සංචාරක කටයුතු යළි ආරම්භ කිරීමට නියමිත ඉන්දුනීසියාවේ බාලි දූපතේ ගුවන්තොටුපළ සංචාරකයන් සඳහා මේ දිනවල සුදානම් කෙරෙමින් පවතී.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com