2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගි වූ දෙවන තරඟය අද (20) අබුඩාබි හි Zayed ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. ඒ පළමු වටයේ A කාණ්ඩයේ අටවන තරඟය ලෙස අයර්ලන්තයට එරෙහිවයි. මීට පෙර ක්‍රීඩා කළ තරඟය ජය ගෙන ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ සිටිමින් ජයග්‍රාහී මානසිකත්වයකින් ශ්‍රී ලංකා කණ්ඩායම තරඟයට අවතීර්ණ විය.
තරඟයේ කාසියේ වාසිය දිනු අයර්ලන්ත කණ්ඩායමේ නායක Andy Balbirnie පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාව කණ්ඩායමට ආරාධනා කළේය. ශ්‍රී ලංකාව කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගල ලෙස පැතුම් නිශ්ශංක සහ කුසල් පෙරේරා පිටියට පිවිසි අතර ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන දෙවන පන්දුවෙන්ම ලකුණු නොලබා කුසල් පෙරේරා නැවත ක්‍රීඩාගාරය වෙත ආපසු හරවා යැවීමට අයර්ලන්ත සුපිරි ක්‍රීඩක Paul Stirling සමත් විය. ඉන් අනතුරුව පිටියට පිවිසි ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් හටද වැඩි කාලයක් පිටියේ රැදී සිටිමට අයර්ලන්ත පන්දුයවන්නන් ඉඩ සැලසුවේ නැති අතර ඔහු ලකුණු 6ක් ලබා පිටියෙන් ඉවත්වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 8ක් ලෙස දිස් විය.
පළමු තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන යාමට කටයුතු කළ අවිශ්ක ප්‍රනාන්දු හා භානුක රාජපක්ෂ හට දෙවන තරඟයේදී සාර්ථක වීමට අයර්ලන්ත පන්දුයවන්න ඉඩ නොදුන් අතර දෙදෙනා පිළිවෙලින් 0ක් හා ලකුණු 1කට දැවී ගියේය. පළමු තරඟයේදී භානුක රාජපක්ෂ පස්වන පිතිකරු ලෙස පිටියට පිවිසි නමුත් දෙවන තරඟයේදී ඔහු අංක 6 පිතිකරු ස්ථානයේ ක්‍රීඩා කළේය. ඔහු වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග පස්වන පිතිකරු ලෙස පිටිය පැමිණි අතර ඔහු ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක සමඟ 4වන කඩුල්ල වෙනුවෙන් අගනා ලකුණු 123ක සම්බන්ධතාවයක් පැවැත්වීමට සමත්විය. පැතුම් නිශ්ශංක හා වනිඳු හසරංග තම ජාත්‍යන්තර විස්සයි විස්ස දිවියේ මංගල අර්ධ ශතකය රැස් කිරීමට සමත් වූ අතර Mark Adairගේ පන්දුවක් හමුවේ වනිඳු හසරංග දැවී යනවිට හතරේ පහර 10ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 71ක් ලබා ගැනීමට හැකි විය. පැතුම් නිශ්ශංක ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 157ක් ලෙස සටහන් වන විට දැවී ගියේ ලකුණු 61ක් ලබා ගනිමින්ය.
ඉන් අනතුරුව පිටියට පිවිසි නායක දසුන් ශානක පන්දුවාර විස්ස අවසානවන තෙක් කඩුල්ලේ නොදැවී 21ක් ලබා ගත් අතර නියමිත පන්දුවාර විස්ස අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 7ක් දැවී ලකුණු 171ක් ලෙස සටහන් වුණා. Josh Little කඩුලු හතරකුත්, Mark Adair දෙකක් හා Paul Stirling එක් කඩුල්ලක් බැගින් ලබා ගත් අතර වෙනත් කිසිදු පන්දුයවන්නෙකුට කඩුල්ලක් ලබා ගැනීමට නොහැකි විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි අයර්ලන්ත කණ්ඩායමේ මුල් පෙළ පිතිකරු යුගල පිටියේ ස්ථාවර වීමට ශ්‍රී ලංකා පන්දුයවන්නන්ගෙන් අවස්ථාවක් නොලැබුණ අතර අයර්ලන්ත නායක Andy Balbirnie හා Curtis Campher පිළිවෙලින් ලකුණු 41ක් හා 24ක් ලබාගත් නමුත් වෙනත් කිසිදු අයර්ලන්ත පිතිකරුවෙකු හට ලකුණු දහයේ සීමාව පසු කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඉඩ ලබා දුන්නේ නැහැ. නැමීබියාවට එරෙහිව පැවති පළමු තරඟයේ වීරයා සම්මාන දිනා ගත් මහීෂ් තීක්ෂණ දෙවන තරඟයේ ද කඩුලු 3ක් ලබගත් අතර චාමික කරුණාරත්න හා ළහිරු කුමාර කඩුලු දෙක බැගිනුත්, දුෂ්මන්ත චමීර හා වනිඳු හසරංග එක බැගිනුත් කඩුලු ලබාගනිමින් අයර්ලන්ත ඉනිම පන්දුවාර 18යි පන්දු 3කදී ලකුණු 101 කට සීමා කිරීමට සමත් වුණා.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන තරඟය ලකුණු 70 කින් ජයග්‍රහණය කරමින් තවමත් පළමු වටයේ A කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ සිටින අතර ලකුණු 71ක් සහ එක් කඩුල්ලක් ලබගනිමින් තරඟයේ වීරයා සම්මාන දිනා ගැනීමට වනිඳු හසරංග සමත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන මීළඟ තරඟය එළඹෙන 22 වනදා නෙදර්ලන්තය සමඟින් පැවැත්වීමට නියමිතයි. තරඟයේ සාරාංශය
ශ්‍රී ලංකාව ඉනිම – 171/7 (20)
වනිඳු හසරංග – 71 (47)පැතුම් නිශ්ශංක – 61 (47)දසුන් ශානක – 21* (11)Josh Little – 4/23 (4)
අයර්ලන්ත ඉනිම – 101/10 (18.3)
Andy Balbirnie – 41 (39)Curtis Campher – 24 (28)මහීෂ් තීක්ෂණ – 3/17 (4)
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්
විදේශයන්හි පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලක විශිෂ්ටතම දස්කම් දැක්වීමට චීනය මෙවර සමත් වෙයි