මැතිවරණ රැස්වීමකට සහභාගි විය හැකි ගණන 500 ක් පමණයි

මහ මැතිවරණ සමයේ අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ රාත්‍රියේ නිකුත් විය.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ අත්සනින් එය නිකුත් කර ඇත්තේ නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ ය.

ඒ අනුව මැතිවරණ රැස්වීමක් ආරම්භ කිරීමට පැය 24 කට පෙර අදාළ බල ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා වෙත රැස්වීම සංවිධාන කරනු ලබන පුද්ගලයින් විසින් ලිඛිත දැනුම්දීමක් කළ යුතු වේ.

පක්ෂයක නායකයා හෝ ස්වාධීන කණ්ඩායමක නායකයා ඊට පැමිණෙන්නේ නම් ඒ සඳහා සහභාගී විය යුතු පුද්ගලයින් සංඛ්‍යාව 500 නොඉක්මවිය යුතුයි.

සංවිධායකවරයා විසින් රැස්වීමට පැමිණෙන සෑම පුද්ගලයකුගේම නම, හැඳුනුම්පත් අංකය සහ ඔවුන් සම්බන්ධ කරගත හැකි කරුණු ඇතුළත් වාර්තාවක් සකස් කළ යුතු වේ.

කිසියම් පුද්ගලයකු මයික්‍රපෝනය ඇතුළු උපකරණ භාවිතා කිරීමෙන් අනතුරුව එම උපකරණ විෂබීජහරණය කළ යුතුයි.

කථිකයා ඇතුළු මැතිවරණ රැස්වීමට සහභාගී වන සියලු දෙනා අතර මීටරයකට පරතයක් පවත්වා ගත යුතු අතර පැමිණෙන සෑම පුද්ගලයකුම මුව ආවරණයක් පැළඳ සිටිය යුතු බව සෞඛ්‍ය මාර්ගෝපදේශන ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

ඡන්දය ඉල්ලීම සඳහා හෝ අත්පත්‍රිකා හෝ වෙනත් මුද්‍රිත ද්‍රව්‍ය බෙදා හැරීමට පැමිණෙන කණ්ඩායමක සිටිය යුතු පුද්ගලයින් වන්නේ සංඛ්‍යාව 5 කි.

එම සංඛ්‍යාව ඊට වැඩි නොවිය යුතු බව ද අදාළ ගැසට් නිවේදනයේ සඳහන් ය.

සෑම ඡන්ද අපේක්ෂකයෙකුම ඡන්ද කාර්යාලයට හා එහි පරිශ්‍රයට පැමිණෙන සෑම පුද්ගලයකුටම සබන් හෝ විජබීජනාශක යොදා දෑත් සේදීමට පහසුකම් සැලසිය යුතු අතර ඒ සඳහා පැමිණෙන පුද්ගලයින් පරිශ්‍රයට පිවිසීමට පෙර දෑත් සෝදනු ඇති බවට වග බලා ගත යුතු ය.

කිසිදු ඡන්ද අපේක්ෂකයින්ගේ කාර්යාලයට හෝ පරිශ්‍රයට මධ්‍යසාරයක් රැගෙන නොඑන බවට හෝ එහිදී මධ්‍යසාර පරිභෝජනය නොකරන බවට අදාළ ගැසට් නිවේදනයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

අපේක්ෂක කාර්යාලයක හෝ පරිශ්‍රයක සූදු ක්‍රීඩා හෝ හැකියාව උරගා බැලීමේ ක්‍රීඩා නොපැවැත්විය යුතුයි.

මහ මැතිවරණ සමයේ අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශන ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය මගින් සෑම අපේක්ෂකයෙකුටම සංවිධායකවරයෙකු මෙන්ම ඊට සහභාගීවන්නන් සඳහා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනයට කිරීම ප්‍රකාශයට පත් කර තිබේ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com