පාසලක පන්ති දෙකක් කොවිඩ් නිසා වැසෙයි

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන ගිනිගත්හේන ප්‍රදේශයේ පාසලක ළමුන් පිරිසකට හා ගුරුවරුන් කිහිපදෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

ඒ අනුව එම පාසලේ 10 වන ශ්‍රේණිය හා 11 වන ශ්‍රේණිය පන්ති තාවකාලිකව වසා දැමූ බව එම පාසලේ විදුහල්පතිවරයා සඳහන් කළේය.

එලෙස තාවකාලිකව වසා දැමූ පන්ති සඳහා අධ්‍යාපන කටයුතු මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදුකරන බව ද එම පාසලේ විදුහල්පතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

අද (18) උදෑසන පාසල වෙත පැමණෙන දරුවන්ගේ උෂ්ණත්වය පරීක්ෂා කිරීමේ දී උණ හා සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් පැවති දරුවන් තිදෙනෙක් නිවෙස් බලා පිටත්කර යැවූ බවත් විදුහල්පතිවරයා පැවසීය.

පාසලේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද විධිමත් කර ඇති බවත්, ආසාදිත ළමුන්ගේ ආශ්‍රිතයින් 500 දෙනෙකු පමණ නිවාසවල රඳවා ඇති බවද විදුහල්පතිවරයා කියාසිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වු එම පාසලේ විදුහල්පතිවරයා,

“විදුහලේ පසුගිය සතියේ කොවිඩ් ආසාදිත සිසුන් කිහිපදෙනෙක් වාර්තාවීමත් සමග අපි ක්‍රියාමාර්ග රාශියක් අනුගමනය කරනවා අලුතින්. මේ සති දෙකේ දී 10 පන්තිය හා 11 පන්තිය නවත්තලා තියෙනවා. මේ පන්ති දෙකටම ඉගැන්වීම් කටයුතු අද දවසේ කාලසටහන ක්‍රියාත්මක වෙනවා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ. සියලුම විෂයන් ඉගැන්වෙනවා. ගුරුවරුන් ඒකට සුදානමින් ඉන්නවා. ඊට අමතරව 6 සිට 9 දක්වා පන්ති ක්‍රියාත්මක වෙනවා. 13 වසරේ විභාගයට අදාළ සිසුන් විතරයි පැමිණලා තියෙන්නේ. අද පවතින වසංගත තත්ත්වය හමුවේ සිසුන් සංඛ්‍යාව අඩුවෙලා තියෙනවා. ඒ අනුව 6 – 9 පන්ති ගත්තහම ඒ පන්තිවල ළමයින් 150ක් විතරයි තමයි විද්‍යාලයට පැමිණියේ. ළමයින් 500ක් – 600ක් ගෙදර නවත්තලා මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම් කටයුතු කරලා තියෙනවා.” 

WP Twitter Auto Publish Powered By : XYZScripts.com