මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය අදින් ඇරඹේ

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහැර අද විථී සංචාරය කෙරේ.
එහෙත් රට තුළ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර පෙරහැර මංගල්‍යයට සභාගීවීමට සැඳැහැවතුන්ට අවස්ථාව හිමිවන්නේ නැත.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දේශීය බෞද්ධ කටයුතු කාර්යාංශයේ ලේකම් කේ. මීගහකුඹුර මහතා සඳහන් කළේ, අද සිට මේ මස 29 දා දක්වා අභ්‍යන්තර පෙරහර 5 ක් ලෙස චාරිත්‍රානුකූලව කුඹල් පෙරහර පැවැත්වෙන බවයි.

මෙරට ප්‍රථම ඇසළ පෙරහැර මංගල්‍ය සිදු කෙරුණේ ක්‍රිස්තු වර්ශ 310 දී අනුරාධපුර රාජධානි සමයේ කිත්සිරි මෙවන් රජ දවසේදීය.

එතැන් පටන් චාරිත්‍රානුකූලව පවත්වාගෙන ආ ඇසළ පෙරහැර මංගල්‍යය වර්ශ 1592 දී සෙංකඩගල පුරවරයේ ප්‍රථමවරට සිදු කෙරුණි.

අද පවතින ආකාරයට දළදා මාලිගාව පෙරටුකොට පිළිවෙලින් නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි යන සිව් මහා දේවාලවල සහභාගීත්වයෙන් පෙරහැර මංගල්‍ය සිදු කිරීම ඇරඹුනේ වර්ශ 1753, කීර්ති ශ්‍රී රාජසිංහ රජදවසේදීයි.

සුබ නැකතින් සිව් මහා දේවාලයන්හි කප් සිටුවීමෙන් අනතුරුව නැකැත් පත්‍ර අනුව සිදු කෙරෙන කුඹල් පෙරහැරින් මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ වේ.

මෙවර සිව් මහා දේවාලවල කප් සිටුවීම පසුගිය 20 වැනි දා සිදු කෙරෙනු අතර කුඹල් පෙරහරෙන් අනතුරුව රන්දෝලි පෙරහර විථී සංචාරය කෙරෙන්නේ මේ මස 30 වැනි දා සිට නිකිණි පුන්පොහෝ දා දක්වායි.

ඒ අනුව මෙවර සෙංකඩගල ඇසළ මංගල්‍යයේ අවසන් මහ රන්දෝලි පෙරහර නිකිණි පුන්පොහෝ දා විථී සංචාරය කිරීමට නියමිතය.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com