අද සිට දින 04ක් පාර්ලිමේන්තුව රැස්වෙයි

අද (08) සිට ලබන 11 වන දින දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ.

ඊයේ (07) පස්වරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී සාමාන්‍ය පරිදි මෙම සතිය තුළ පාර්ලිමේන්තුව රැස්වීමට තීරණය කළ බව මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේය.

ඒ අනුව අද දිනයේදී ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නියෝග 02ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අතර ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන අරමුදල් පනත් කෙටුම්පත දෙවන වර කියවීම සිදුකිරීමට නියමිතය.

මෙහිදී මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදල සම්බන්ධයෙන් සංශෝධන 02ක්ද ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව එම අරමුදලේ සභාපතිවරයා ලෙස මෙතෙක් කටයුතු කළ අග්‍ර විනිශ්චයකාරවරයා වෙනුවට විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු හෝ විශ්‍රාමික විගණකාධිපතිවරයෙකු පත්කිරීමට අදාළ සංශෝධන ඉදිරිපත් කෙරෙනු ඇත.

ඊට අමතරව එම අරමුදලේ සාමාජිකයෙකු ලෙස මෙතෙක් කටයුතු කළ එහි විෂය භාර අමාත්‍යවරයා වෙනුවට ඔහු පත් කරනු ලබන නියෝජිතයෙකු එම සාමාජික ධුරය දැරීම සඳහා වන සංශෝධනය ද ඉදිරිපත් කිරීමට නියමිතය.

හෙට (09) සහ අනිද්දා (10) යන දෙදින තුළ අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත, පුද්ගලනාශක බිම්බෝම්බ තහනම් කිරීමේ පනත් කෙටුම්පත, අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත, සිවිල් නඩු විධිවිධාන සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීම, පළාත් සභා මුද්දර ගාස්තු මාරු කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීම සහ 1969 අංක 01 දරණ ආනයන සහ අපනයන පාලන පනත යටතේ රෙගුලාසි ද විවාද කර සම්මත කර ගැනීමට නියමිතව තිබේ.

ලබන 11 වන දින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාගේ අභාවය පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com