“වෛද්‍ය, හෙද ඇතුළු සෞඛ්‍ය සේවය ඉහළින් ම අගයනවා. රට තුළ පවතින මුදල් තත්ත්වය නිසි ලෙස අවබෝධ කර ගනිමින් සමස්ත රාජ්‍ය සේවයට බලපෑමක් නො වන ආකාරයට අනුමත කළ හෙද ඉල්ලීම් ලබා දීමට පියවර ගන්න”.
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ ඉල්ලීම පරිදි අද (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ බව සඳහන් කළේය.
හෙද විශ්වවිද්‍යාලය ඇරඹීම, දෙවන ශ්‍රේණියේ සිට පළවන ශ්‍රේණියට උසස් කිරීම් පෙරදාතමින් සිදු කිරීම, පැය 36ක් ව පවතින රාජකාරී කාලය සතියට දින 05ක රාජකාරියක් ලෙස පැය 30ක් ලෙස සැලකීම, වෛද්‍ය වෘත්තිකයන්ට ලබා දෙන රුපියල් 35,000ක DAT දීමනාව සමානුපාතිකව යෝජිත රුපියල් 10,000 දීමනාව, නිල ඇඳුම් දීමනා චක්‍රලේඛය නිකුත් කිරීම සහ මූලික වැටුපෙන් 1/100 රේට් අගයක් මත අමතර සේවා දීමනාව යන හෙද වෘත්තීය ඉල්ලීම් සාකච්ඡාවට ලක් කෙරිණ.
උසස් අධ්‍යාපන පනත සංශෝධනය කර කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත්, එතෙක් හෙද විද්‍යාල එකතු කර ජාතික විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමට අවශ්‍ය සෙසු කටයුතු ඉදිරියට කර ගෙන යාමට පියවර ගන්නා ලෙසත් ජනාධිපතිවරයා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාට උපදෙස් දුන්නේය.
අප්‍රේල් මස ඇතුළත උසස් අධ්‍යාපන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මැයි මාසය අවසන් වීමට පෙර හෙද විශ්වවිද්‍යාලය ඇරඹීමටත් කටයුතු කරන බව සම්පත් අමරතුංග පැවසීය.
II ශ්‍රේණියේ සිට I ශ්‍රේණියට උසස් කිරීම් පෙරදාතමින් සිදු කිරීමටත් නිල ඇඳුම් දීමනාව ලබා දීමටත් අවශ්‍ය කටයුතු සලසන මෙන් සෞඛ්‍ය සහ මුදල් ලේකම්වරුන්ට ජනාධිපතිවරයා උපදෙස් දෙනු ලැබීය.
දැඩි අසීරුතාව මැද වුව ද ජනවාරි මාසයේ සිට සියලු ම රාජ්‍ය සේවකයන්ට රුපියල් 5,000ක දීමනාවක් ලබාදීමට පියවර ගැනිණ. එක් පිරිසක ඉල්ලීම් ලබා දීමේදී තවත් පිරිසක් නැවත ඉල්ලීම් කරති. එහෙත් පවතින මූල්‍ය අර්බුදය මැද සියලු ඉල්ලීම් සලකා බැලීම කළ නො හැකි බව සියලුදෙනා අවබෝධ කරගත යුතු කරුණකි. එම නිසා සමස්ත රාජ්‍ය සේවයට බලපෑමක් නො වන ආකාරයෙන් මුදල් අමාත්‍යාංශය සහ සෙසු ආයතන සමඟ සාකච්ඡා කර හෙද ඉල්ලීම් කෙරෙහි අවධානය යොමු කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ