ඉන්දියාවට තරගාවලියේම ජය

3 ට බිංදුවක පූර්ණ තරඟාවලි පරාජයක් ශ්‍රී ලංකාට හිමිකර දෙමින් ඊයේ පැවැති තුන්වැනි පන්දුවාර 20 තරගයද කඩුළු 06 කින් ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

ධර්මශාලාහි පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක තීරනය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන්ගේ අසාර්ථක පිතිහරඹය හේතුවෙන් පන්දුවාර 8කුත් පන්දු 03කදී ශ්‍රී ලංකා ලකුණු පුවරුව දැක්වුණේ කඩුළු 4 කට ලකුණු 29ක් ලෙසයි.

එහිදී ධනුෂ්ක ගුණතිලක තමා මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගිය අතර පසුගිය තරග දෙකේදී සාර්ථක වූ පැතුම් නිස්සංකගේ ඉනිම එක් ලකුණකට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නන් සමත් වුණා.

යළිත් අසාර්ථක වූ චරිත් අසලංක ලකුණු 4කට දැවී ගිය අතර තමන්ට ලද අවස්ථාවෙන් ප්‍රයෝජන නොගත් යොවුන් ක්‍රීඩක ජනිත් ලියනගේ ලකුණු 9කට දැවී ගියා.

මෙලෙස බිද වැටුණු ශ්‍රී ලංකා ඉනිමට යම් ජීවයක් එක් කළ දිනේෂ් චන්දිමාල් ලකුණු 22ක් රැස් කළ අතර නායක දසුන් ශානක සිය පන්දුවාර 20 දිවියේ හොඳම ඉනිම ක්‍රීඩා කරමින් පන්දු 38ක් තුළ නොදැවී ලකුණු 74ක් ලබා ගත්තා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 6 ක් දැවී ලකුණු 146 ක් ලබාගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 16 යි පන්දු 5 ක් අවසානයේදී කඩුළු 4 ක් පමණක් දැවී ලකුණු 148 ක් ලබා ගත් අතර එහිදී ප්‍රහාරාත්මක පිතිකරණය යළි ඇරඹූ ශ්‍රියාර්ස් අයියර් පන්දු 45ක දී ලබාගත් ලකුණු සංඛ්‍යාව 73ක්.

මේ අතර ලබන මස 4 වැනිදා මොහාලිහිදී ආරම්භවීමට නියමිත පළමු ටෙස්ට් තරගය සඳහා සහභාගීවීමේ අරමුණින් චන්දිගාර් වෙත ගමන් කරමින් සිටි ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ගමන්ගත් බස්රථයේ තිබී හිස් උණ්ඩ දෙකක් සොයාගැනීමට ඉන්දීය ආරක්ෂක අංශ සමත් වී තිබෙනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මොහාලි පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com