හරිත වැලි තොටුපොළ සංකල්පය අද සිට

හරිත වැලි තොටුපොළ ක්‍රමය අද (2022.03.01) සිට යළි කියාත්මක වේ. ගංඟා වලට ඍජුවම වාහන ඇතුල් කරමින් සිදු කරන වැලි ගොඩදැමීම හේතුවෙන් ගංගා ඉවුරු වලට සිදුවන හානි වලක්වා ගැනීම ගංඟා ඉවුරු සංරක්ෂණ හා තිරසාරව වැලි ඉවත් කිරීම සඳහා විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය කිරීම යන කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් එම වැඩ සටහන ක්‍රියාත්මක කිරීමට රජය විසින් භූ විද්‍යා සමීක්ෂණය හා පතල් ඛැණීම් කාර්‍යාශයට උපදෙස් දී ඇත.

මෙම ක්‍රමය යටතේ ගං ඉවුරේ සිට අඩි 10 ක ප්‍රදේශයක් හරිත කලාපයක් ලෙස නම් කෙරේ. ගංඟා වලට ට්‍රැක්ටර් ඇතුළු කිරීම ඒ යටතේ සම්පූර්ණයෙන්ම තහනම් වේ. මෙහිදී වැලි ගොඩදැමීම සිදුවන්නේ නිසි ප්‍රමිතියකට අනුවයි. එහි දී කූඩ ‍යොදා ගෙන අඩි 10 සීමාව ඉක්මවන තෙක් වැලි රැගෙන ආ යුතුයි. ඉන්පසු විල්බැරෝවක් ආධාරයෙන් වැලි පටවන ස්ථානයට ගෙන ආ යුතුය . වැලි ගොඩදැමීම සඳහා යොදා ගන්නා බෝට්ටු, එන්ජින් රහිත බෝට්ටු විය යුතුයි.

හරිත වැලි තොටුපොළ සංකල්පය යටතේ ගංගාවත්, ගං ඉවුරත් අවට පරිසරයත් සුරක්ෂිත වීම සිදු වේ. මේ ක්‍රමය යටතේදී ගංගාවේ හරිත කලාපය ලෙස නම් කෙරෙන ප්‍රදේශය වන‍රෝපණයකින් යුක්තයි. ඒ හරහා වැලි තොටුපොළට ගමන් කරන්න අඩි 03ක මාර්ගයක් පමණක් ඉතිරි කිරීමේ ක්‍රමය හේතුවෙන් ගංගාවට ට්‍රැක්ටර් රථ ඇතුළු කිරීම කෙසේවත් කළ නොහැක . .

හරිත වැලි තොටුපොළ සංකල්පය ක්‍රියාත්මක කිරීම උල්ලංඝණය කරන්නන් හට වැලි බලපත්‍රය නිකුත් කිරීම අහෝසි වනු ඇත.

මෙම සංකල්පය යටතේ රට පුරා ඇති ගංඟා සුරක්ෂිත වීමත් , ගං ඉවුරු ඛාදනය වීම වැලක්වීමත් නිසා ගංගා පද්ධතියම ආරක්ෂා වේ.
මෙම පරිසර සංරක්ෂණ ක්‍රමවේදයන් අනුගමනය කිරීම තුළින් ගංවතුර හානි වැනි ස්වාභාවික ආපදාවන්ද අවම කර ගත හැක.

රෂිකා සඳමාලි හෙන්නායක
2022.03.01

WP Twitter Auto Publish Powered By : XYZScripts.com