ජල දින සැමරුම ජනපති අතින්

ලෝක ජල දින සැමරුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ  ප්‍රධානත්වයෙන්  අරලිය ගහ මන්දිරයේදී ඊයේ (22) පස්වරුවේ  පැවැත්විණ.

“භූගත ජලය  ආශ්‍රිතව  නොපෙනෙන දේ සෙවීමට සැලැස්වීම” (Groundwater: making the invisible visible) යන්න මෙවර ලෝක ජල දිනයේ තේමාවයි.

ජලය හා සනීපාරක්ෂක පද්ධතිය, කෘෂිකර්මාන්තය, කර්මාන්ත, පරිසර පද්ධති හා දේශගුණික විපර්යාසවල අනුවර්තනය උදෙසා  භූගත ජලයේ ඇති වැදගත්කම පෙන්වාදීම එහි අරමුණයි.

කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණදී  සිටි  පානීය ජලය මුහුදු ජලය එක්වීමේ ගැටලුවට විසඳුම් දෙමින් කළුතර, අගලවත්ත හා මතුගම ජල යෝජනා ක්‍රමය අන්තර්ජාලය ඔස්සේ ජනතා අයිතියට පත් කිරීම ජනාධිපතිවරයා  අතින් මෙහිදී  සිදු කෙරිණ.

ගම් දහසකට සුරක්ෂිත පානීය ජලය ලබාදීම උදෙසා ප්‍රජා ජල දෙපාර්තමේන්තුව සාර්ථකව නිමකළ ව්‍යාපෘති ඇතුළත් සංදේශය, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා විසින් ජනාධිපතිවරයාට  පිළිගන්වනු ලැබීය.

ප්‍රජා මූල සංවිධානයන්හි සාමාජිකයන් සඳහා රක්ෂණ ක්‍රමයක් ඇරඹීම සහ ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය විසින් පාසල් සිසුන් අතර පවත්වනු ලැබූ තරගාවලියේ ජයග්‍රාහකයන්ට ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය අග්‍රාමාත්‍යවරයා  අතින් සිදුවිය

සැමට පිරිසිදු ජලය ලබාදීම වෙනුවෙන් කැපවෙන බව “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ  සඳහන් කෙරුණු බවත්  2025 දී රටේ සියලුම ජනතාවට පිරිසිදු පානීය නළ ජල පහසුකම් සැපයීම රජයේ අරමුණ බවත්  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළේය

ලංකාවේ  මුහුදු ජලය ප්‍රතිචක්‍රීකරණ විශාලතම  ව්‍යාපෘතිය යාපනය අර්ධද්වීපය කේන්ද්‍ර කරගනිමින් අරඹා ඇතැයි පැවසූ අගමැතිවරයා  එහි මිල අධික වුවත් උතුරේ ජනතාවගේ පිපාසය නිවාලීමට කළ යුතුම දෙයක් බව  අවධාරණය කළේය.

දකුණු ආසියාවේ ප්‍රථම උපයෝගීතා ආයතනය බවට පත්වෙමින් ඩිජිටල් තාක්ෂණික වැඩපිළිවෙළ ඇරඹීමද  ජනාධිපතිවරයා  අතින් සිදුවිය. 

ජල ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම සඳහා අනුග්‍රාහකත්වය දක්වන ජාත්‍යන්තර ආයතන අටකට  ප්‍රණාම පුදකිරීම, ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ හොඳම කළමනාකරු, හොඳම වැඩ භාර නිලධාරී කාර්යාලය සහ හොඳම ප්‍රජා ජල සමිතිය සඳහා “ජනාධිපති සම්මාන” පිරිනැමීම මෙවර ජල දිනයේ සුවිශේෂි අවස්ථාවක්  විය.

මේ අවස්ථාවට  රාජ්‍ය අමාත්‍යවරුන්  තානාපතිවරුන් ,දේශීය හා විදේශීය කොන්ත්‍රාත් සමාගම්හි නියෝජිතයන්  හා උපදේශකවරුන්  අමාත්‍යාංශ ලේකම්වරුන්  රාජ්‍ය නිලධාරීන්  ඇතුළු පිරිසක් සහභාගි වූහ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com