කෙටිදුර ධාවනශූර යුපුන් අබේකෝන් දිවයිනට

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා, ලෝකෙන්ම විසිවෙනියා “යුපුන් අබේකෝන්” නම් වූ ඒ අසහාය ක්‍රීඩකයා පසුගිය පොදුරාජ්‍ය මණ්ඩලිය ක්‍රීඩා උළෙලේදී මීටර් 100 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගනිමින්  ශ්‍රී ලංකාව ලෝකය හමුවේ අභිමානවත් ලෙස ඉහලට ඔසවා තැබීමට සමත් වූවා.

පසුගිය දිනක ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා  යුපුන් අබේකෝන් ක්‍රීඩකයා ඉතාලියේ පුහුණුවීම් සිදු කරන ස්ථානයට ගොස් ඔහු හා ඔහුගේ කණ්ඩායම හමුවිය.

මීළඟ ඔලිම්පික් තරගාවලියේ දී ශ්‍රී ලංකාව රනින් බබලවන්නට වෙර දරනා යුපුන් අබේකෝන් හා ඔහුගේ කණ්ඩායම නවීන තාක්ෂණික මෙවලම් හා ක්‍රමවේදයන් භාවිතා කරමින් ඉතා කැපවීමෙන් පුහුණුවීම් කටයුතු කරන ආකාරය එහි දී අමාත්‍යවරයාට දැක ගත හැකි විය. 

එහිදී රටක් ලෙස රටේ අභිමානය ඔසවා තැබීමට කැපවීමෙන් කටයුතු කරන යුපුන් අබේකෝන් ක්‍රීඩකයා හට ඉටු විය යුතු යුතුකම් නොපිරිහෙලා ඉටු කිරීමට කටයුතු කරන බව දැනුම් දුන් අතර එහි දී ඔහුට හා ඔහුගේ කණ්ඩායමට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස අමාත්‍යවරයා ආරාධනයක් කළේය.ඒ අනුව යුපුන් අබේකෝන් ක්‍රීඩකයා අද (18) අළුයම ශ්‍රී ලංකාවට පැමිණියේය.

එහි දී යුපුන් අබේකෝන් ක්‍රීඩකයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ පැවසීය.

ඇමතිතුමා මට දුරකතන ඇමතුමක් ලබා දී හමුවීමට අවශ්‍ය බවත්, මම ඉන්න තැන ගැනත් ඇහුවා. අමාත්‍යවරයා හෙට එන බව මා හට පැවසූවා. පැමිනේවියැයි මම බලාපොරොත්තු වූයේ නැහැ. නමුත් ඔහු පැමිණියා. මම අපේ පුහුණු මධ්‍යස්ථානය වෙත අමාත්‍යවරයා එක්කගෙන ගියා. එය ඉතාලියේ තිබෙන විශාල පුහුණු මධ්‍යස්ථානවලින් එකක්. ඉතාලියේ මම පුහුණුවීම් කරන තැන තිබෙන පහසුකම් හා ඉතාලියේ ක්‍රීඩාව දකින ආකාරය, ඔවුන්ගේ සැළසුම් පිළිබදව එහිදී මට අමාත්‍යතුමා දැනුම්වත් කිරීමට හැකි වූවා.

අමාත්‍යතුමා ඒ සම්බන්ධව ලොකු අදහසක්, අවබෝධයක් ලබා ගන්න ඇති කියා මම විශ්වාස කරනවා. මෙහිදී ලබා ගත් දැනුම සමග අනාගතයේ දී ශ්‍රී ලංකාවේ අලුත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට එතුමාට හැකියාව ලැබේවි. ශ්‍රී ලංකාව වෙනුවෙන්, ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් අලුත් දෙයක් කිරීමේ උවමනාව තිබෙන බව අමාත්‍යවරයා සමග කළ කතාබහේ දී මට දැනුනා. ඒ වෙනුවෙන් මා හට කළ හැකි උදව් උපකාර මාගේ කණ්ඩායම සමග එක් වී සිදු කර දීමට හැකි බව මම අමාත්‍යවරයාට පැවසූවා. එය ක්‍රියාත්මක වුවහොත් ශ්‍රී ලංකාවේ මළල ක්‍රීඩාවට හොද දවසක් උදාවේවි යැයි විශ්වාසයක් තිබෙනවා. සැළසුමක් සමග ඉදිරියට ගියහොත් වසර 05 ක් 10 ක් ඇතුළත හොද ක්‍රීඩකයින් පිරිසක් බිහිකර ගැනීමට හැකියාව ලැබේවි.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සම්මේලනයේ සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු, එහි උප සභාපති  චන්දන ඒකනායක, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ (ක්‍රීඩා) ආර්.ටී. අල්පොන්සු, ව්‍යාපෘති නිලධාරි ගාමිණී කපිලදේව කොස්තා යන මහත්වරුන් විසින් කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේ විශේෂ ප්‍රභූ පර්යන්තයේදී යුපුන් අබේකෝන් ක්‍රීඩකයා ඉතා හරසරින් පිළිගනු ලැබුවා.

යුපුන් අබේකෝන් ක්‍රීඩකයා පිළිගැනීමේ අවස්ථාවට ඔහුගේ ආදරණීය මව ඇතුළු ඥාතීන් හා හිතවතුන් පිරිසක් ද එහි පැමිණ සිටියා. 

WP Twitter Auto Publish Powered By : XYZScripts.com