Skip to content
දේශපාලන ආධිපත්‍ය සඳහා බටහිර රටවල් අතලොස්සක් විසින් සිදුකරන පලස්තීනය ප්රමුඛ මැදපෙරදිග අමානුෂික ක්‍රියාදාමය මුළු මහත් ලෝකයක්ම හෙළාදකිමින් තිබෙන මොහොතක, මැදපෙරදිග තුලින් ලෝක යුද්ධයක් නිර්මාණය කරමින් තිබෙන මොහොතක ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අප රටත් එහි පාර්ශවකරුවන් කර තිබෙන බවත්, ඒ හරහා රටෙත් රටේ ජනතාවගේත් අනාගතය අවදානම් තත්වයකට පත්කර ඇති බවත් අද පාර්ලිමේන්තු සභාව අමතමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පැවසීය.
මන්ත්‍රීවරයා මේ බව පාර්ලිමේන්තුවේදී කියා සිටියේ රතු මුහුදේ හූති අරගලකරුවන් විසින් සිදුකරමින් තිබෙන ක්‍රියාදාමයන්ට එරෙහිව ශ්‍රී ලංකා නාවික හමුදාව යෙදවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන ඇති අත්තනෝමතික ක්‍රියාකලාපයට පිළිතුරු ලෙසයි.
මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන සංජා ද සිල්වා ජයතිලක මහත්මිය “RANIL’S RED SEA ADVENTURES” යන මැයෙන් DAILY FT පුවත්පතට ලියන ලද ලිපියක් උපුටා දක්වමින් ඉම්තියාස් බාකිර් මාකාර් මහතා මේ බව කියා සිටියේය.
“WHAT WOULD A SRI LANKAN NAVY SHIP, FROM THIS IMPOVERISHED COUNTRY UNABLE TO PAY ITS DEBTS, HEAVILY DEPENDENT ON THE IMF, AND WITH A POPULATION HEADING TOWARDS A CRISIS OF ECONOMIC SURVIVAL, BE DOING IN THE RED SEA AT THIS TIME, TAKING ON THE HOUTHIS, IN A CONFLICT THAT IS NOT OURS, IN A CONTEXT WHERE CLAIMS OF GENOCIDE AND COLLECTIVE PUNISHMENT WHICH ARE WAR CRIMES, ARE INVOKED? ISN’T THIS CONTRARY TO SRI LANKA’S OWN OPERATION PROSPERITY?”
පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් ඉම්තියාස් බාකීර් මාකාර් මහතා මෙම අදහස් ප්‍රකාශ කර සිටියේ වසර අටකට පමණ පෙර කැබිනට් පත්‍රිකාවක් මගින් ආරම්භ කළ, O.N.U.R ආයතනය, (ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා වන ආයතනය) පාර්ලිමේන්තු පනතක් හරහා ආයතනයක් ලෙසින් ස්ථාවර තත්වයකට ගෙන ඒමට ගන්නාවූ රජයේ ප්රයත්නය පක්ෂ භේදයෙන් තොරව අගය කරමින්.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඉම්තියාස් ඉම්තියාස් බාකීර් මාකාර් මහතා මේසේ පැවැසීය.
“අද පාර්ලිමේන්තුව ඉදිරියේ සාකච්ඡා වන මෙම පනත ගැන නිරාකරණය කරගත යුුතු ගැටළු කිහිපයක් අපට තිබෙනවා.
කෙසේ වුනත් මෙයට වසර අටකට පමණ පෙර කැබිනට් පත්‍රිකාවක් මගින් ආරම්භ කළ, O.N.U.R ආයතනය, (ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා වන ආයතනය) පාර්ලිමේන්තු පනතක් හරහා ආයතනයක් ලෙසින් ස්ථාවර තත්වයකට ගෙන ඒමට ගන්නාවූ, මේ ප්රයත්නය පක්ෂ භේදයෙන් තොරව අගය කළ යුත්තක් ලෙස මම දකිනවා.
2009 වසරේ යුද්ධයේ අවසානයත් සමග, බෙදුම්වාදී සිතුම් පැතුම් වලට සමුදී, මුළු ශ්‍රී ලාංකික ජාතියම එක්සේසත් කරන්නට, ස්වරණමය අවස්ථාවක් රටක් ලෙස අපට ලැබුණා.
එහෙත් එය නිසි ලෙස පාවිච්චි කරන්නට අපේ නායකයන් අපොහසත් වුණා. අසමත් වුණා.
2015 දී යහපාලන රජයට ජනවරමක් ලැබීම සිදුවුණේ, අපේ රටේ බෙදුම්වාදය සහ වර්ගවාදය උච්චතම ස්ථානයකට ගෙනැවිත් තිබූ පසුබිමක.
එදා ඒ රජයේ පළමු පියවරක් ලෙස, කැබිනට් පත්‍රිකාවක් මගින්, ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා වන ආයතනයක් ස්ථාපනය කරනු ලබුවා.
මේ අරමුණ සඳහා තිබූ ප්‍රමුඛතාව සහ කැපවීම ප්‍රදර්ශනය කරමින්, එදා සිටි ජනපති සහ අගමැති දෙපල, මේ ආයතනයේ සභාපතීත්වයට, හිටපු ජනපතිනියක වන චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පත්කරනු ලැබුවා.
නමුත් 2019 සිදුවූ ජනපති ධූරයේ වෙනස්වීමත් සමග, මෙම ආයතනයේ කටයුතු සඳහා වන, ප්‍රමුඛතාවයේ විශාල වෙනසක් සහ, මුදල් වෙන් කිරීමේ සිට බිම් මට්ටමේ ක්‍රියාකාරීත්වය තෙක්ම, අඩුලුහුඬුකම් මෙන්ම උදාසීනකම් දකින්නට තිබුණා.
මේ පාලන වෙනසත් සමගම, ජාතික ගීය, ද්‍රවිඩ බසින් ගායනා කිරීමේ සම්ප්රදාය, නවතා දැමීම වැනි, බෙදුම්වාදී ක්‍රියාකාරකම් සහ බෙදුම්වාදී ආකල්ප වර්ධනයට ඉඩදී සිටීම සිදුවුණා. විවිධත්වය තුල එකමුතුව, විවිධත්වය ඉවසීම, විවිධත්වයට ගරුකිරීම වැනි වටිනාකම් වෙනුවට, විවිධත්වය පුපුරුවා හැර, බෙදුම්වාදී න්‍යාය පත්‍රවලින් දේශපාලන වාසි ප්‍රයෝජන ලබාගැන්ම, ඉතිහාසයේ කිසි කලෙක නොවූ අයුරින් සිදුවීම අප දුටුවා.
මේ යුගයේදී O.N.U.R ආයතනය හුදෙක් ජාත්‍යන්තරයට පෙන්වන ඇස් බැන්දුමකට සීමා කිරීම සිදුකළා.
ඉන් අනතුරුව අප දුටු, මුලු රටම වැලඳගත්, පක්ෂ භේදවලින් තොරවූ, ජනතාවගේ “වීදි බැස්ම” නැතහොත් “අරගලය”, අපේ රටේ සිතීමේ ක්රමයේ, විප්ලවීය වෙනසක් ඇති කරමින්, බෙදුම්වාදය වැපිරූ දේශපාලනයේ නිමාවකට ආරම්භය ලබාදුන්නා. මේ අරගලය, පටු දේශපාලන අරමුණු සඳහා තමන්ගේ නමට ඩැහැගැන්මට අතලොස්සක් අන්තවාදී ක්‍රියාවල යෙදුනද, මෙම ස්වභාවික ජනතා නැගිටීම තුළින් ජනතාව දුන් පණිවිඩය ඉතා වැදගත්.
මෙවන් පසුබිමක, අද මෙම පනත ඉදිරිපත් කිරීම, සද් භාවයෙන් සිදුවන්නක් නම්, එය රටේ අනාගතය සඳහා වන යහපත් හැරවුම් ලක්ෂයක් වනු ඇත.
අල්ලස් දූෂණ කොමිෂන් සභාවක් තිබූ පමණින්, රටේ අල්ලස, දූෂනය තුරන්වීම හෝ, අවම වීම සිදුනොවී ඇත්තාක් මෙන්, O.N.U.R පනත තුලින්, මේ නව ආයතනය මෙලෙස පිහිටුවීම තුලින් පමණක්, මේ රටේ සමගිය සහ සංහිඳියාව සම්බන්ධයෙන්, ප්රාතිහාර්ය පෑමක් සිදුවේයැයි, අපේක්ෂා කරන්නට පුළුවන්කමක් නැහැ.
මේ සම්බන්ධයෙන් වූ කටයුතු, සද්භාවයෙන් සිදුවීමයි, අවශ්‍ය වන්නේ.
මේ නව ආයතනයේ කටයුතු ස්වාධීනව, සාධාරණව සහ අපක්ෂපාතීව සිදුවීමට නම්, මෙහි තීන්දු තීරණ ගන්නා අයවළුන්, දේශපාලන අතකොලු නොවීම වැදගත් වෙනවා.
මේ සම්බන්ධව, දැනටමත් සිවිල් සමාජය නියෝජනය කරන, බොහෝ පාර්ශවයන්, තම අවිශ්වාසය සහ කනස්සල්ල, ප්‍රකාශයට පත්කර තිබෙනවා.
මෙවන් වැදගත් පනතක් ගෙන ඒමට පෙර, පුලුල් සහ ගැඹුරු ලෙසින්, අදාල පාර්ශවකරුවන් සමගින්, සාකච්ඡා නොකිරීමේ අඩුවයි, මේ තුලින් පෙනී යන්නේ.
මේ පනත තුලින් විශාල බලයක්, විශේෂයෙන් අධිකරණමය ස්වරූපයේ දඬුවම් ලබාදීමේ බලතල පවා, මේ ආයතනයට ලබාදීමට යෝජනා කර තිබෙනවා.
මේ සා විශාල බලතල සහ වගකීම් හසුරුවන පුද්ගලයන්, පත්කිරීමේ බලය, ව්‍යවස්ථාදායක සභාව වැනි, ස්වාධීන වූ ආයතනයක් හරහා සිදුනොකර, තනි පුද්ගලයෙකුගේ අභිමතයට, සිදුකිරීමට යෝජනා කිරීම තුලින්, එම ආයතනයේ අපක්ෂපාතීත්වයට සහ, ස්වාධීනත්වය පිළිබඳව, විශ්වාසනීය බවක් ඇති නොවීම සක්සුදක් සේ පැහැදිලිව දැකිය හැකි තත්වයක්.
තනි පුද්ගලයෙකුගේ අභිමතයට අනුව, පත්කරන මෙම අයවළුන්, විසින් ගන්නාවූ, තීන්දු තීරණ ගැන, අධිකරණයකට අභියාචනයක් ඉදිරිපත් කිරීමට හෝ, අවකාශයක් ලබා නොදෙන අයුරින්, තහංචි, මෙම පනතින් යෝජනා කර තිබීම, සැබැවින්ම ප්රජාතන්ත්රවාදී සමාජයකට නොගැලපෙන භයානක තත්වයක්. (පනතේ 19 වගන්තියේ දෙවන උප වගන්තිය අනුව)
මේ අනුව බලන කළ, මෙම පනතේ සඳහන් කරන යහපත් අරමුණු සැබැවින්ම සාක්ෂාත් කරගත හැකිද යන්න ප්‍රශ්නයක්. ජාත්‍යන්තරය මතුකරන ප්‍රශ්න වලට උත්තරයක් ලෙස හෝ, මැතිවරණ වසරකදී, විවිධ ජනකොටස් දිනා ගැන්මක් සඳහා ඉදිරිපත් කරන ඇස් බැන්දුමක් ලෙස හෝ නොව, සැබෑ ජාතික එකමුතුවක් සහ, සංහිඳියාවක් ඇතිකිරීම සඳහා වන, හැරවුම් ලක්ෂයක් ඇති කරන අව්‍යාජ ප්රයත්නයක් බවට, මෙය පත්කර ගැන්මට නම්, මෙය පුද්ගලයෙකුගේ අතකොලුවක් වන ආයතනයක් නොව, රටේ සෑම ජන කොටසකගේම සහ සෑම පාර්ශවයකගේම විශ්වාසය ඇතිකරන ආයතනයක් බවට පත්කරගත යුතුව තිබෙනවා. මෙහිදී එහි සංයුතිය තීරණාත්මක සාධකයක් වෙනවා.
ඒ සඳහා නිහතමානී ලෙසින්, අවශ්‍ය සංශෝධන කාරක සභා අවස්ථාවේදී ඇතිකර ගැන්මට, අවශ්‍ය පියවර ගැනීම තුලින්, මේ අරමුණ සඳහා රජයේ පාර්ශවයේ අව්‍යාජ උවමනාව සහ කැපවීම ප්‍රදර්ශනය කරන්නට පුළුවන්කම තිබෙනවා.
තවද, මෙයට අමතරව, පනතට අනුව, O.N.U.R ආයතනය වෙනත් සංහිඳියාව සහ වගවීම පිළිබඳ වූ O.M.P හෙවත්, අතුරුදන්වූවන්ගේ කාර්යාලය, O.R හෙවත් වන්දි ගෙවීම් සඳහා වූ කාර්යාලය මෙන්ම යෝජිත TRUTH UNITY AND RECONCILIATION COMMISSION (T.U.R.C) හෙවත් සත්‍ය, සමගිය සහ සංහිඳියාව සඳහා වන කොමිසම වැනි ආයතන සමග කටයුතු කරන්නට යන ආකාරය පිළිබඳව, ව්‍යාකූල තත්වයක් දකින්නට තිබෙනවා. මේවා එකිනෙකා අතර ඇති බලතල ගැන ඒ අපැහැදිලි බව, නිරාකරණය කරගත යුතුව තිබෙනවා.
තවත් එක් කරුණක් ගැන අමාත්‍යතුමන්ගේ අවධානය යොමුකරන්නට මම කැමතියි.
යෝජිත පනතට අනුව O.N.U.R ආයතනයට අවශ්‍ය වන මුදල් ප්‍රතිපාදන රජයෙන් ලබාදීම අපේක්ෂිත බව සඳහන් වෙනවා. එසේ වුවත්, O.N.U.R. ආයතනයට ත්‍යාග වශයෙන් අරමුදල්, දේශීය වශයෙන් හෝ විදේශයන්ගෙන් ලබාගැන්මට කටයුතු කළ හැකි බවද පනතේ සඳහන් වෙනවා.
දේශීය වශයෙන් සහ විදේශයන්ගෙන් මෙලෙස ත්‍යාග හෝ ප්‍රදානයන් ලෙසින් මුදල් ලබාගැන්මට ඉඩකඩ ලබාදීම තුලින්, ආයතනයේ ස්වාධීනත්වයට බලපෑම් ඇතිකළ හැකි තත්වයක් ඇතිවීමට ඇති ඉඩකඩ ගැන ගරු අමාත්‍යවරයාගේ අවධානය යොමුකරන්නටත් මම කැමතියි.
කෙසේ වෙතත් රට ගොඩ නැගීමට ආර්ථික ප්රතිසංස්කරන මෙන්ම සමාජියීය සහ දේශපාලනික ප්රතිසංස්කරණත් සිදුකීරීම අවශ්‍ය බව පිළිගන්නවා. ඒ සඳහා මෙවැනි ක්ෂේත්රයන් ඇමතිය යුතුව තිබෙනවා.
එහෙත් සමාජියීය සහ දේශපාලනික ප්‍රතිසංස්කරණ සිදුකිරීමේදී අදාල පාර්ශවයන්ගේ සහ විද්වතුන් සමග පුළුල් සහ ගැඹුරු කථිකාවතක් සිදුකිරීමෙන් විශ්වාසනීය බවක්, සම්මුතියක් ඇතිකරගන්නට පුලුවන්කම තිබෙනවා.
එවැනි සංවාදයන්හි ප්‍රතිඵල ලෙසයී, මෙවැනි අණපනත් ඇතිවිය යුත්තේ.
එවැනි සංවාදයන්ගෙන් තොරව කලබලයෙන් ගෙනාවූ, විකාශන අධිකාරී පනත විරෝධතා නිසා අකුලා ගැන්ම අප දුටුවා.
එලෙසම තවත් කලබලයෙන් ගෙන ආ ත්‍රස්ත විරෝධී පනත ගැන ඇතිවූ විරෝධතාත් අප දුටුවා.
දැන් GOOGLE, FACE BOOK වැනි කොටස් ඇතුළු අදාල පාර්ශවයන් සමග සාකච්ඡා නොකර ගෙන එන්නට හදන ONLINE SAFETY BILL හෙවත් මාර්ගගත ආරක්ෂන පනත ගැනත් අප කව්රුත් දන්නවා.
මෙවැනි දඩිබිඩි තාලයෙන්, කලබලයකින් අණපනත් මැතිවරණ වසරක් තුල ගෙන ඒමේ පරමාර්ථය, සද්භාවය ඇත්තෙන්ම ප්‍රශ්නයක් බව අවධාරණය කරනවා.
ජනවාර්ගික ගැටලුවෙන් පීඩා විඳින්නේ පොදු ජනතාවයි. සැබෑ පාර්ශවකරුවන් වන්නේ පොදු ජනතාවයි. එබැවින් ඒ ගැටළුවෙන් බැට කා ඇති, පීඩා විඳ ඇති ජනකොටස්, පාර්ශවයන් සමගද මෙවැනි අනපනත් ගෙන ඒමට පෙර අදහස් හුවමාරු කරගැන්ම සිදුකළ යුතුව තිබෙනවා.
එවැන්නක් සිදුනොකර ඉහලින් පහළට නීතිරීති පැනවීමට උත්සාහ ගැන්ම තුලින්, ඉතිහාසයේ සිදුව ඇති වැරදීම්වලින් පාඩම් ඉගෙන නොගැනීමකුයී, අපි දකින්නේ, කියන කාරනය සිහිපත් කරමින් මම මගේ කථාව සමාප්ත කරනවා”
Continue Reading
1 min read
1 min read
1 min read
1 min read
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ