අංගොඩ ලොක්කාගේ වෙඩික්කරුවෙකු පොලිස් වෙඩි පහරින් මරුට

අංගොඩ ලොක්කා නමැති පාතාලකරුගේ ප්‍රධාන ගෝලයෙකු බව කියන 41 හැවිරිදි එදිරිසූරිය ආරච්චිරාළලාගේ චමින්ද එදිරිසූරිය නොහොත් චමියා නමැත්තා , ගම්පහ ඔරුතොට කලුපාලම අසලදී පොලීසිය සමග සිදුවූ වෙඩි හුවමාරුවකදී වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්වූ බව පොලීසිය පවසයි.

පෑලියගොඩ දිසා අපරාධ විමර්ශන අංශය මගින් චමින්ද නමැත්තා කැලණිමුල්ල ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තිබූ ගිනි අවි සහ මත් ද්‍රව්‍ය සොයා ගැනීමට යමින් සිටියදී ඊයේ ( 22) රාත්‍රි 10.50 ට පමණ ගම්පහ, කලුපාලම අසලදී මූත්‍රා කිරීමට අවශ්‍ය බව පැවසූයෙන් වාහනයෙන් බැස්සවීමට සූදානම් වූ අවස්ථාවේ , පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවිය උදුරා වෙඩි තැබීම මත පොලිස් නිලධාරියෙකු විසින් පෙරලා වෙඩි තැබීමේදී තුවාල ලැබූ චමින්ද නමැත්තා ගම්පහ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්වූ බවද පොලීසිය පවසයි.

චමින්ද නමැත්තා සිදු කළ වෙඩි තැබීමෙන් පෑලියගොඩ දිසා අපරාධ විමර්ශන අංශයේ පොලිස් කොස්තාපල් වරයෙකුගේ අතකට තුවාල සිදුව ඇත.

ගම්පහ , බුත්පිටිය ,මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි බව කියන මොහු විවාහකයකු වන බවත් එක් දරු පියෙකු බවත් පොලීසිය පවසයි. චමියා නමැත්තා කඩුවෙල අධිකරණයේදී සමයං නමැත්තාට වෙඩි තැබීම සහ කළුතරදී බන්ධනාගාර ඛස් රථයකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ අයෙකු බවද පොලීසිය සදහන් කරයි.

වෙඩි හුවමාරුවේදී අතකට වෙඩි වැදුනු පොලිස් නිලධාරියා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි නේවාසිකව ප්‍රතිකාර ලබන අතර මියගිය චමින්ද නමැත්තාගේ සිරුර මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා ගම්පහ රෝහලෙහි මෘත ශරීරාගාරයෙහි තබා තිබිණි.

මීට පෙරද අංගොඩ ලොක්කාගේ වෙඩික්කරුවෙකු පොලිස් වෙඩි පහරින් ඝාතනයට ලක්විය.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com