චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ ඇමති වං යී මහතා සහ චීන අප්‍රිකා සහයෝගතා සංසදයේ වත්මන් අප්‍රිකානු සම සභාපති රට වන සෙනගාලයේ විදේශ ඇමතිනි Yacine Fall මහත්මිය, මීළඟ සම සභාපති රට වන කොංගෝ ජනරජයේ විදේශ ඇමති Jean-Claude GAKOSSO මහතා ඊයේ(5) මාධ්‍ය හමුවක් පවත්වමින් දෙස් විදෙස් මාධ්‍ය වේදීන්ගේ ප්‍රශ්න වලට පිලිතුරු ලබා දුන්හ.
වං යී මහතා එහිදී විශේෂයෙන් මෙවර බෙයිජිං සමුළුවෙන් ලද ජයග්‍රහණ විස්තර කළේය.
පළමුවැන්ම, චීනය හා, රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාව ඇති අප්‍රිකානු රටවල් අතර උපායමාර්ගික හවුල්කාරිත්වය මුළුමනින්ම ස්ථාපිත කර ඇත. එම සමුළුව තුළදී ෂී ජින්පිං ජනාධිපතිවරයා පැමිණි සියළු අප්‍රිකානු නායකයින් සමග ද්විපාර්ශ්වික හමු පවත්වමින් වැදගත් උපායමාර්ගික කරුණු සම්බන්ධයෙන් ගැඹුරින් අදහස් හුවමාරු කර ගත්තේය. එහිදී චීනය, අප්‍රිකානු රටවල් 30ක් සමග, උපායමාර්ගික හවුල්කාරිත්වය ගොඩනැගීම හෝ එය ඉහල නංවාලීම සිදු කෙරිණ.
දෙවනුව, චීන-අප්‍රිකා සබඳතා සමස්තයක් වශයෙන් නව යුගයේ සර්ව කාලීන පොදු ඉරණමක් සහිත චීන-අප්‍රිකා ප්‍රජාවක් බවට පත් කිරීමට චීන අප්‍රිකා නායකයෝ ඒකමතිකව එකඟ වූහ. විපර්යාසයෙන් සපිරි වර්තමානයේ, සහයෝගයෙන් ඉදිරියට ගමන් කිරීම පිළිබඳ බිලියන 2.8ක ජනතාවගේ අධිෂ්ඨානය ඉන් පිළිබිඹු කෙරේ.
තෙවැන්න, චීනය හා අප්‍රිකාව එක්ව නවීකරණය සාක්ෂාත් කර ගැනීම සම්බන්ධයෙන් ෂී ජින්පිං ජනාධිපතිවරයා ක්‍රියාකලාප හයක් ඉදිරිපත් කළේය. සාධාරණ හා යුක්තිසහගත නවීකරණය, විවෘත හා පොදු ප්‍රතිලාභී නවීකරණය, ජනතා කේද්‍රීය නවීකරණය, විවිධත්ව හා පොදුවේ පිළිගන්නා නවීකරණය, ජෛව පාරිසරික හිතකාමී නවීකරණය හා සාමකාමී සුරක්ෂිත නවීකරණය එම ක්‍රියාකලාප හයයි. එය එම සමුළුවට එක්වූ අප්‍රිකානු නායකයින්ගේ පුළුල් පැසසුමට ලක් ව ඇත.
සිව්වැන්න, ඉදිරි වසර තුන තුළ චීනය සහ අප්‍රිකාව නවීකරණය ප්‍රවර්ධනය කිරීමේ හවුල්කාරී මෙහෙයුම් දහයක් ෂී ජින්පිං ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කිරීමය. අප්‍රිකානු ඌන සංවර්ධිත රටවල් කෙරේ ශුන්‍ය බදු වෙළඳ අනුග්‍රාහී ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම, අප්‍රිකානු මධ්‍යම හා සුළු පරිමාණ ව්‍යාපාරවල නිපුණතා සවිබල ගැන්වීමේ සැලැස්ම ආරම්භ කිරීම, අප්‍රිකානු ජනතාවගේ අත්‍යවශ්‍ය අවශ්‍යතාවන් සපිරෙන ‘ජන ජීවිත ව්‍යාපෘති 1000ක්’ එළිදැක්වීම, වෛද්‍ය සේවා සහාය, කෘෂි කාර්මික සහනාධාරය යනාදිය ඊට අයත්ය.
More Stories
පදනම් විරහිත චෝදනා එල්ල නොකරන්නැයි චීනයෙන් ඇමරිකාවට දැඩි ප්‍රකාශයක්
එක්සත් ජාතීන් සමග පුළුල් සහයෝගීතාවක් පවත්වා ගැනීමට අපේක්ෂා කරන බව චීන විදේශ අමාත්‍යවරයා පවසයි
චීනයේ විදුලි වාහන සම්බන්ධ යුරෝපා සංගමයේ තීරණයට දැඩි විරෝධයක්