රන්ජන් රාමනායක මහතාට එරෙහිව ගොණුකළ අධිකරණයට අපහාස කිරීමට අදාල පැමිණිල්ලේ විභාගය අවසන් කෙරුණා.
මෙම පැමිණිල්ල ඔක්තෝබර් මස 21 වනදා යළි කැඳවීමට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නඩු කටයුත්තට අදාළ වැඩිදුර පැහැදිලි කර ගැනීම් සිදු කිරීමට අවශ්‍ය වුවහොත් එදින ඒ සම්බන්ධයෙන් කරුණු සලකා බලන බවයි කියා සිටියේ.
නඩු විභාගය අතර වාරයේ රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයා විසින් සිදුකළ බව කියන අධිකරණයට අපහාසාත්මක ප්‍රකාශ මෙම නඩු කරය ආරම්භ වීමෙන් පසුව පවා ඇතැම් විද්‍යුත් මාධ්‍යවලින් විකාශනය කිරීම හා නැවත නැවත ප්‍රති විකාශනය කිරීම සිදු කරමින් පවතින බවට චෝදනා කළා.
මෙයද අධිකරණයට කරනු ලබන අපහාසයක් යැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥ සුමන්දිරන් මහතා මෙවැනි මාධ්‍ය නාලිකා සම්බන්ධයෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ නීතිපතිවරයා කටයුතු කරන්නේදැයි තමා අවධානයෙන් සිටින බව ද සඳහන් කළා.
ඊට ප්‍රතිචාර දක්වමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා සඳහන් කළේ පුවත්පතකට වඩා විද්‍යුත් මාධ්‍යයක භාවිතය බෙහෙවින් වෙනස් බවයි
විද්‍යුත් මාධ්‍ය විසින් විකාශය කරනු ලබන්නේ කිසියම් පුද්ගලයෙකු බාහිර ස්ථානයක සිදු කරනු ලබන ප්‍රකාශ බව පෙන්වා දුන් රජයේ අතිරේක සොලිස්ටර් ජෙනරාල් වරයා මෙම නඩුවට අදාළව මාධ්‍ය නාලිකා විසින් විකාශය කර තිබෙන්නේ මෙම නඩුවේ වගඋත්තරකරු විසින් සිදුකරන ලද ප්‍රකාශය යැයි ද පෙන්වා දුන්නා.
2018 වසරේ අගෝස්තු මස 21 වන දා එවක අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ අරලියගහ මන්දිරයේ දී පැවැති සාකච්ඡාවකින් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දැක්වූ රන්ජන් රාමනායක හිටපු අමාත්‍යවරයා මෙරට විනිසුරුවරුන්ගෙන් හා නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිතයන් බවට ප්‍රකාශ කර තිබුණා.
හිටපු අමාත්‍යවරයාගේ එම ප්‍රකාශය තුළින් ඔහු මෙරට අධිකරණ පද්ධතිය කෙරෙහි පවතින මහජන විශ්වාසය බිඳ හැරීමට ක්‍රියා කර ඇති බවත් ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි චෝදනා කරමින් මාගල්කන්දේ සුදන්ත හිමියන් සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙක් වන සුනිල් පෙරේරා යන අය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි ඉදිරිපත් කර තිබුණා.
එම පැමිණිලි පදනම් කරගෙන නීතිපතිවරයා විසින් රන්ජන් රාමනායක හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙම චෝදනා පත්‍රය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළා.
සිසිර ද ආබෲ, විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩු විභාගය පැවැත්වුණා
More Stories
චීන තානාපතිවරයා හා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර හමුවක්
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජපුර විශ්වවිද්‍යාලයෙන් රුසියානු භාෂා ඩිප්ලෝමා පාඨමාලාවක්