2025 නව වසර වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරයි

2025 නව වසර උදාවීම නිමිත්තෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන මාධ්‍ය සමූහය සහ අන්තර්ජාලය ඔස්සේ නව වසරේ සුබ පැතුම් පණිවුඩය නිකුත් කරයි. එම සුබ පැතුම් පණිවුඩය මෙසේ ය:

ආයුබෝවන්! කාලය වේගයෙන් ඉදිරියට ගෙවී යයි. නව වසරේ උදාව පිළි ගන්නා මෙම මොහොතේ මම බෙයිජිං නගරයේ සිට ඔබ සැමට සුන්දර සුබ පැතුම් පිරිනැමීමට කැමැත්තෙමි.

2024 වසරේ අප ඍතුවෙන් ඍතුවට ගමන් කරමින් අසීරුතා හා අභියෝගවලට එක්ව මුහුණ දී තිබේ. මෙම අසාමාන්‍ය වසර කැපී පෙනෙන්නේ එවන් අමතක නොවන හැඟුම්බර මොහොතවල්වලිනි.

අපි දෙස් විදෙස් විපර්යාසවලින් එල්ලවූ බලපෑම්වලට සක්‍රියව ප්‍රතිචාර දක්වමින් ප්‍රතිපත්ති මාලාවකින් ඉහල ගුණාත්මක සංවර්ධනය ස්ථිර ලෙස ඉදිරියට ගෙන යාමට සමත් වූයෙමු. ආර්ථිකය අඛණ්ඩ ප්‍රකෘතිමත් ප්‍රවණතාවක පවතින අතර වසරේ චීන දළදේශීය නිෂ්පාදිත වටිනාකම  යුවාන් ට්‍රිලියන 130ක් ඉක්මවා යාමට අපේක්ෂිත ය. 

ධාන්‍ය අස්වනු ධාරිතාව ටොන් කෝටි 70කි. චීන ජනතාවගේ ආහාර අවශ්‍යතාව චීන නිෂ්පාදිත ආහාරවලින් මනා ලෙස සපුරා ඇත. සම්බන්ධීකරණයෙන් ඒකාබද්ධව ඉදිරියට ගෙන යන කලාපීය සංවර්ධන ක්‍රමවේදය හේතුවෙන්, නවාකාර නාගරීකරණය හා ග්‍රාමීය පුනර්ජීවනය සමබර ලෙස වඩවා ඇත. හරිත-අවකාබන් සංවර්ධන රටාව ගැඹුරට ක්‍රියාත්මක කිරීමත් සමගම දැකුම්කළු ‘චීන චිත්‍රයක්’ අප ඉදිරියේ කෙමෙන් දිස් වෙමින් පවතී.

අපි විවිධ ප්‍රදේශවල විශේෂතාවන්ට අනුව නව ගුණාත්මක ඵලදායිතාව පෝෂණය කිරීමෙහි නියැළී සිටින්නෙමු. මේ තුළින් නවීන කර්මාන්ත, නව සංවර්ධන රටාවන් මෙන්ම නව ආකෘති අඛණ්ඩව බිහි වී තිබේ. නව බලශක්ති මෝටර් රථවල වාර්ෂික නිෂ්පාදන ප්‍රමාණය ප්‍රථම වරට කෝටිය ඉක්මවා ගොස් තිබේ. ඒකාබද්ධ පරිපථ, කෘත්‍රිම බුද්ධිය, කුවන්ටම් සන්නිවේදනය යන ක්ෂේත්‍රවල නව ප්‍රගතීන් අත්කර ගෙන ති‍බේ. ‘චාන්-අ’ හය චන්ද්‍ර ගවේෂණ යානය ප්‍රථම වතාවට චන්ද්‍රයාගේ ඈත කලාපයෙන් සාම්පල එකතු කිරීමට සමත් විය. ‘සිහිනය’ නමැති චීන ගැඹුරු මුහුදු විදුම් නෞකාව මහා සාගරයන්හි ගවේෂණය ආරම්භ කළේ ය. මුහුදු මත ශෙන්චෙන්-චොංෂන් මහා මාර්ගය ඉදි කොට භාවිතයට පත් විය. දක්ෂිණ ධ්‍රැවයේ අයිස් බිම මත චීනයේ ‘ඡින්ලිං’ මධ්‍යස්ථානය ගොඩනැගිණ. මේ සියල්ලම චීන ජනතාව ගේ මිහිකත ගවේෂණය කිරීමේ අප්‍රතිහත අධිෂ්ඨානය විදහා පායි.

මෙම වසරේ රටේ විවිධ ප්‍රදේශ නිරීක්ෂණය කළ මම ජන ජීවිතයේ මනරම් විවිධත්වයන් දැක ගතිමි. ටියන්ශුයි හි ඇපල් ලොකු ය, රතු ය. ඩොංෂන් කෝරළයේ ආඕජියඕ ගම්මානයේ ධීවර කර්මාන්තය සරුසාර ය. මයිජී කන්දේ ගල් ගුහාවල ‘පෙරදිග සිනාව’ වසර දහස් ගණනක් දිදුලමින් ඇත. ලියුචීෂ්‍යං වීදියේ ජන ප්‍රජාව තුළ පාරම්පරිකව උරුම වී ඇති පරිත්‍යාගශීලිත්වය හා ආචාරශීලිත්වය කෙරෙහි මගේ සිත කා වැදිණ. ටියන්ජින් පැරණි සංස්කෘතික වීදිය තුළ මා දුටුවේ සංචාරකයන් විශාල පිරිසකි. යින්චුවාන් නගරයේ බහුජාතික ප්‍රජාවේ පුරවැසියෝ එකම පවුලේ සාමාජිකයන් සේ සමගියෙන් ජීවත් වෙති. ඔබ සැම සේම, රැකියා නියුක්තිය, ආදායම වැඩිවීම, වයස්ගත පුද්ගලයන්ගේ සහ දරුවන්ගේ වෛද්‍ය රක්ෂණ, අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවාව යන ප්‍රශ්න කෙරේ මම ද දැඩි සැලකිල්ලෙන් සිටිමි. ගෙවී ගිය වසරේදී මූලික විශ්‍රාම වැටුප වැඩි විය. නිවස මිලට ගැනීමේ ණය පොලී අනුපාතය පහළ දැමිණ. පිටප්‍රදේශවල සිට සෞඛ්‍ය සේවා ලබාගැනීමේදී ඍජු ගාස්තු පරිපූර්ණ පරාසය තවදුරටත් පුළුල් විය. පැරණි භාණ්ඩ වෙනුවට නව භාණ්ඩ මිලට ගැනීමේදී ක්‍රියාත්මක වන අනුග්‍රාහී ප්‍රතිපත්තිය ද සමග, ජනතාවගේ ජීවිත ගුණාත්මකභාවය ඉහල නැංවිණ. සැමගේ ජීවිතයට පොහොසත් හිමිකමක් ලැබී ඇත.

පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී චීන ක්‍රීඩක ක්‍රීඩිකාවන් උද්‍යෝගිවත්ව තරග වදිමින් විදේශ රටක පැවැත්වූ ඔලිම්පික් ක්‍රීඩා උළෙලක කැපී පෙනෙනම ජයග්‍රහණ ලබා ඇත. නව පරපුරේ ධනාත්මක ජීවගුණය හා ස්වයං විශ්වාසය ඉන් පිළිබිඹු වී තිබේ. නාවික හමුදාවේ හා ගුවන් හමුදාවේ 75වැනි උපන් දිනය ද උත්කර්ෂවත්ව සැමරිණ. මහජන විමුක්ති හමුදා භටයින්ගේ නවමු මුහුණුවර විදහා පා ඇත. ගංවතුර, සුළිකුණාටු ඇතුළු ස්වභාවික විපත් හමුවේ, චීන කොමියුනිස්ට් පක්ෂ නිලධාරීහු පෙරමුණේ සිට සටන් කළහ. ජනතාවගේ සමගිය හා අවංක අන්‍යෝන්‍ය සහාය ද එහිදී කැපී පෙනිණ. අපමණ ශ්‍රමිකයෝ, ඉදිකරන්නෝ, ව්‍යාපාර ආරම්භකයෝ සිය සිහින සඳහා ක්‍රියාශීලිව උත්සාහ කරමින් සිටිති. ජාතික පදක්කම් හා ජාතික ගෞරවනීය කීර්ති නාම සම්මානලාභින් වෙනුවෙන් මම සම්මාන පිරිනැමුවෙමි. කීර්තිය ඔවුන්ට පමණක් නොව, ධෛර්යසම්පන්නව සිය සිහිනයට උත්සාහ දරන ඕනෑම කෙනෙකුට ද හිමි ය.

විපර්යාස හා ගැටුම්වලින් සපිරි වත්මන් ලෝකයේ, වගකියන දැවැන්ත රටක් වශයෙන්, චීනය ගෝලීය පාලන ප්‍රතිසංස්කරණ හා ගෝලීය දකුණේ සහයෝගතාව සක්‍රියව ඉදිරියට මෙහෙයවමින් සිටියි. චීනය එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙලේ ඉහල ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනය ප්‍රායෝගිකව ප්‍රවර්ධනය කරන අතර, චීන අප්‍රිකා සහයෝගතා සංසදයේ බෙයිජිං සමුළුවේ සාර්ථක සත්කාරකත්වය දැරීය. ශැන්හයි සහයෝගතා සංවිධානය, බ්‍රික්ස් රටවල්, ආසියා ශාන්තිකර ආර්ථික සහ‍යෝගතා සංවිධානය, ජී20 කණ්ඩායම ඇතුළු ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික වේදිකාවන්හි චීනය තම ස්ථාවරයන් පැහැදිලිව ඉදිරිපත් කළේ ය. එවන් චීන ස්ථාවරයන්, ලෝක සාමය හා ස්ථාවරත්වයට ධනාත්මක බලය එකතු කර ඇත. 

අපි නව චීනය පිහිටුවීමේ 75වැනි සංවත්සරය උත්කර්ෂවත්ව සැමරුවෙමු. චීන මහජන සමූහාණ්ඩුවේ සිදු වූ විපර්යාසයන් ගැඹුරු හැඟීමකින් සිහිපත් කළෙමු. වසර 5000කට වැඩි කාලයක් පුරා චීන  ශිෂ්ටාචාරය පැතිර යාමේදී, ‘චීනය’ යන අකුරු ශැන්ෂී පළාතේ හමුවූ පැරණි ‘හ ත්සුන්’ නමැති පුරා වස්තුවේ පහළ කොටසේ කැටයම් කොට ඇති අයුරු සේ, එය සැම චීන ජාතිකයෙකුගේම සිතේ ද තැන්පත් වී ඇත. චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන මධ්‍යම කාරක සභාවේ 3වන පූර්ණ සැසිවාරය සාර්ථකව පැවැත්විණ. එහිදී ප්‍රතිසංස්කරණ සම්පූර්ණ හා ගැඹුරු ලෙස ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරිණ. ප්‍රතිසංස්කරණ සහ විවෘතභාවය සඳහා යුගයේ ප්‍රවණතාව සමඟ අපි ඉදිරියට ගමන් කරමින් සිටිමු. චීන මාදිලියේ නවීකරණය, ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය සමග වඩා පුළුල් අනාගතයක් විවෘත කරනු ඇතැයි විශ්වාස කෙරේ.

2025 වසරේදී අපි 14වැනි පස්අවුරුදු සැලැස්ම සම්පූර්ණ කිරීමට අපේක්ෂාවෙන් සිටිමු. ඒ සඳහා වඩා සක්‍රිය හා නිවැරදි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් අධි ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනයට උපරිම අවධානය යොමු කළ යුතු ය. උසස් මට්ටමේ විද්‍යා තාක්ෂණික ස්වාධීනත්වය හා ස්වශක්තිය ප්‍රවර්ධනය කරමින් ආර්ථිකය හා සමාජය මනා සංවර්ධන ප්‍රවණතාවක පවත්වා ගැනීම සඳහා අප ප්‍රයත්න දැරිය යුතු ය. නව තත්ත්වයන් හමුවේ ආර්ථික වර්ධනය බාහිර පරිසර අවිනිශ්චිතතාවයේ අභියෝගවලටත් නව හා පැරණි ගාමක බලයන්හි පරිවර්තන පීඩනයටත් මුහුණ දෙන නමුත් එම දුෂ්කරතා උත්සාහ දැරීමෙන් මුදා ගත හැකි ය.  ඉතිහාසයේ සිටම අප වැඩී ඇත්තේ සුළං හා වැස්ස තුළින්ම ය. අප ශක්තිමත් වී ඇත්තේ අභියෝගයන් හමුවේම ය. එනිසා සැමටම පූර්ණ විශ්වාසයක් තිබිය යුතු ය.

පවුල් කටයුතු, ජාතික කටයුතු මෙන්ම ලෝකයේ කටයුතු තුළින්, ජනතාවට වඩාත් සුවපහසු ජීවිතයක් අත්කර දීම ප්‍රධානතම කටයුත්ත ය. දරුවන්ට වඩා යහපත් අධ්‍යාපනයක් ලබා දීම, වියපත් පුද්ගලයන්ට මනා වැඩිහිටි සේවා සැපයීම සහ තරුණයන්ට වැඩි සංවර්ධන අවස්ථා හිමි වීම සැම පවුලකම බලාපොරොත්තු ය. මෙවැනි සරල ආශාවන් සුන්දර ජීවිතයක් වෙනුවෙන් වන ජනතාවගේ අපේක්ෂාවන් ය. සමාජයේ සංවර්ධන හා පාලන මට්ටම අඛණ්ඩව ඉහළ නංවා ගනිමින් සුසංගත හා සහභාගීත්වයෙන් යුතු වාතාවරණයක් නිර්මාණය කිරීමට අප උත්සාහ දැරිය යුතුය. එසේම, සාමාත්‍ය ජනතාවට වඩා සතුට හා උණුසුම ගෙන ඒම උදෙසා ඔවුන් අවට ඇති ලොකු කුඩා ගැටළු නිසි ලෙස විසඳා ගත යුතු ය. 

මැකව් විශේෂ පරිපාලන කලාපය චීනයට ආපසු එක්වීමේ 25වන සංවත්සරය නිමිත්තෙන් මම හඖ ගංගා ඉවුරට ගියෙමි. එහි නව සංවර්ධනය සහ නව වෙනස්කම් දැක මම සතුටු වූයෙමි. හොංකොං සහ මැකව් යන විශේෂ පරිපාලන කලාපවල දීර්ඝ සමෘද්ධිය හා ස්ථාවරත්වය පවත්වා ගෙන යාමට අපි ස්ථීරව ‘එක් රටක් ක්‍රම දෙකක්’යන ප්‍රතිපත්තිය අනුගමනය කරමු. තායිවාන සමුද්‍ර සන්ධි දෙපස ස්වදේශකයන් එකම පවුලේ සාමාජිකයන් ය. අප අතර  ඇති ලේනෑකම කිසිවෙකුට හෝ බිඳිය නොහැක. මව්රට එක්සත්වීමේ ‌‌ෙඑතිහාසික ප්‍රවණතාවට බාධා කළ හැකි අයෙකු ද නොමැත.

ලෝකයේ සියවස් විපර්යාසය වේගයෙන් සිදු වෙමින් පවතී. සාමූහික ආකල්පයකින් ගැටුම් විසඳා ගෙන, මානවයාගේ ඉරණම කෙරෙහි ගැඹුරු හැඟීමෙන් යුතුව අවධානය යොමු කළ යුතුය. ලෝකයේ ජයග්‍රාගී අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීනය විවිධ රටවල් සමඟ එක්ව මිත්‍ර සහයෝගිතා ක්‍රියාවට නංවන්නෙකු, අන්‍යෝන්‍ය ශිෂ්ටාචාර අධ්‍යයනය ප්‍රවර්ධකයෙකු සහ පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනැගීමට සහභාගි වන්නෙකු ලෙසට ක්‍රියා කිරීමට කැමැත්තෙන් සිටී.

සිහිනය ඈතින් තිබුනද හඹා යාමෙන් ඊට ළඟා විය හැකි ය. අපේක්ෂාව ඉටු කර ගැනීම දුෂ්කර වුවද අඛණ්ඩව ප්‍රයත්න දැරීමෙන් සාක්ෂාත් කළ හැකි ය. චීන මාදිලියේ නවීකරණය සඳහා යන නව ගමනේ දී සැම දෙනාම ප්‍රධාන චරිතයන් ය. සැම ප්‍රයත්නයක්ම ඉතා වටින්නේ ය. සැම ආලෝකයක්ම ඉතා දිප්තිමත් ය.

කඳු හා ගඟ වඩා අලංකාර ය. තාරකා ආලෝකයෙන් සුවහසක් නිවෙස් බබළයි. අපි පූර්ණ විශ්වාසයකින් නව වසර පිළි ගනිමු. මව්රට සෞභාග්‍යවත් හා සමෘද්ධිමත් වේවා! සැම දෙනාගේම සියලුම අපේක්ෂාවන් ඉෂ්ට වේවා! සියල්ලන්ම සතුටින් හා සුසංගතයෙන් ජීවත් වේවා!

WP Twitter Auto Publish Powered By : XYZScripts.com