පැයක විදුලි කප්පාදුවක්

පැයක විදුලිය කප්පාදුවකට පියවර ගෙන ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව අද (13) සවස 5.00 සිට රාත්‍රී 9.30 අතර පැයක විදුලි කප්පාදුවක් සිදුවනු ඇති.

පසුගිය ඉරිදා (09) දින විදුලි බල පද්ධතියේ ඇති වූ සමතුලිතතාවය බිඳ වැටීමක් හේතුවෙන් පැය 05ක කාලයක් දිවයින පුරි විදුලි බිඳ වැටිමක් සිදු වුණා.

මෙම හදිසි විදුලි බිඳවැටීමෙන් අනතුරුව නොරොච්චෝලේ බලගාරයේ ජනන යන්ත්‍ර 03ම අක්‍රීය තත්ත්වයට පත්වීම හේතුවෙන් විදුලි ඉල්ලුම කළමනාකරණය කරගැනීම සඳහා පසුගිය 10 සහ 11 යන දිනයන්හි පැය එකහාමාරක කාලයක් දිවයිනේ සෑම ප්‍රදේශයකටම විදුලි කප්පාදුවක් සිදුකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගනු ලැබුවා.

ඒ අනුව පස්වරු 3.30ත් රාත්‍රී 9.30ත් දක්වා පැය 06ක කාලසීමාව තුල කාණ්ඩ 04ක් ඔස්සේ එම විදුලි කප්පාදුව සිදුකිරීමට කටයුතු කර තිබු නමුත් ඊයේ (12) පොහොය දිනයක් වීම හේතුවෙන් අඩු විදුලි ඉල්ලුම සපුරාලීමට ලංකා විදුලිබල මණ්ඩලයට හැකි වූ බැවින් විදුලි කප්පාදුවක් සිදු නොකිරීමට මණ්ඩලය පියවර ගනු ලැබුවා.

මේ වන විට නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර අක්‍රීයව පවතින අතර එහි නඩත්තු කටයුතු විදුලි ඉංජිනේරුවන් විසින් සිදුකෙරෙමින් පවතින අතර අදාළ කටයුතු කඩිනමින් අවසන් කිරීමෙන් අනතුරුව ජනන යන්ත්‍ර සක්‍රීය කිරීමට කඩිනමින් කටයුතු කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.

බොහෝ දුරට හෙට (14) දිනය වන විට නොරොච්චෝලේ බලාගාරය ජාතික පද්ධතියට එක් කිරීමට හැකි වනු ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර සිටියා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com