ට්‍රම්ප්ගේ ගාසා සැලැස්ම වෙනුවට අරාබි නායකයින්ගෙන් ගාසා ප්‍රතිසංස්කරණය සඳහා නව සැලැස්මක්

අරාබි නායකයන් අද(05) ගාසා තීරයේ ප්‍රතිසංස්කරණය සඳහා නව සැලැස්මක් සඳහා අනුමැතිය ලබා දී ඇත. මෙම සැලැස්ම සඳහා ඇස්තමේන්තුගත වියදම ඇමරිකානු ඩොලර් බිලියන 53ක් වන අතර, පලස්තීනුවන් අවතැන් වීම වැළැක්වීම අරමුණු කර ගනිමින් එය ඉදිරිපත් කර තිබීම විශේෂත්වයකි.

අරාබි නායකයෝ ඊජිප්තුවේ අගනුවර වන කයිරෝ හිදී පැවති හදිසි සමුළුවකදී මෙය අනුමත කළහ. එහිදී ගාසා තීරය පාලනය සඳහා අවම වශයෙන් මාස හයක කාලයක් පක්ෂග්‍රාහී නොවන තාක්ෂණික කමිටුවක් පලස්තීන අධිකාරිය යටතේ පිහිටුවීමටද එකඟ වී ඇත.

සමුළුවෙන් අනතුරුව ඊජිප්තු විදේශ අමාත්‍ය Badr Abdelatty මහතා පැවසුවේ ඊජිප්තුව ජාත්‍යන්තර මට්ටමින් මෙම ප්‍රතිනිර්මාණ සැලැස්ම ප්‍රවර්ධනය කරනු ඇති බවයි. ගාසා තීරයේ වරායක් සහ ගුවන්තොටුපළක් ඉදිකිරීමට ද මෙමගින් යෝජනා කර තිබේ.

පලස්තීන ජනතාව අවතැන් කිරීමට ‍හෝ ඔවුන්ගේ භූමිය අත්පත් කර ගැනීමට දරන ඕනෑම උත්සාහයක් නව ගැටුමක් නිර්මාණය කරනු ඇති බව සමුළුවේ අවසානයේදී අරාබි නායකයෝ අනතුරු අඟවමින් ප්‍රකාශ කළහ. ප්‍රතිසංස්කරණ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලු ආකාරයේ සහයෝගය ලබා දීමට ද අරාබි නායකයෝ එකඟ වූ අතර ජාත්‍යන්තර ප්‍රජාවට ද ඒ සඳහා දායකත්වය ලබා දෙන්නැයි ඉල්ලීමක් කළහ.

මෙම සැලැස්ම ගාසා තීරය යළි සංවර්ධනය සහ ගාසා වැසියන් ඊජිප්තුව සහ ජෝර්දානය ඇතුළු අසල්වැසි රටවලට ගෙන යාමට යෝජනා කරන ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අදහසට ප්‍රතිවිරුද්ධ ය. කෙසේ වුව ද ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශය අරාබි නායකයින්ගේ සැලැස්ම ප්‍රතික්ෂේප කරමින් ට්‍රම්ප්ගේ සැලැස්මට සහයෝගය ලබා දෙන බව සඳහන් කර ඇත.

මේ අතර ගාසා තීරය පලස්තීන රාජ්‍යයේ කොටසක් ලෙස පැවතිය යුතු බවත්, ඊජිප්තුව කෙටුම්පත් කළ සැලැස්මට සහාය දක්වන බවත් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා අවධාරණය කර තිබේ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com