චීන ජනපති වියට්නාමයේ Noi Bai ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ලිඛිත දේශනයක් පවත්වයි

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා වියට්නාමයේ Hanoi හි Noi Bai ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දී ලිඛිත දේශනයක් පවත්වයි.

වියට්නාම කොම්යුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් To Lam මහතාගේ සහ වියට්නාම ජනාධිපති Luong Cuong මහතා‍ගේ ආරාධනයෙන්,  සිව්වන වරටත් වියට්නාමයේ නිල සංචාරයත් ආරම්භ කිරීමට ලැබීම පිළිබඳව තමන් ඉතා සතුටු වන බව ෂී ජින් පිං මහතා එහිදී පැවසීය.

Hanoi වෙත පැමිණි අවස්ථාවේදී, චීන කොමියුනිස්ට් පක්ෂය, චීන රජය සහ චීන ජනතාව වෙනුවෙන් වියට්නාම කොමියුනිස්ට් පක්ෂය, වියට්නාම රජය සහ වියට්නාම ජනතාවට අවංකව ආචාර කරමින් සුබ පැතුම් පිරිනමන බවද එම දේශනයේ දැක්වේ.

මෙම වසර වියට්නාම කොමියුනිස්ට් පක්ෂය පිහිටුවීමේ 95 වන සංවත්සරය, වියට්නාමය පිහිටුවීමේ 80 වන සංවත්සරය සහ දකුණු වියට්නාමය නිදහස් කර ගැනීමේ 50 වන සංවත්සරය සනිටුහන් කරයි. To Lam මහතා කේන්ද්‍ර කරගත් වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ශක්තිමත් නායකත්වය යටතේ වියට්නාමයට නිසැකවම එහි ජාතික තත්වයන්ට ගැලපෙන සමාජවාදී මාවතක් අනුගමනය කිරීමට හැකි වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ෂී ජින් පිං මහතා පැවසීය.

2023 වසරේදී වියට්නාමයේ කළ නිල සංචාරයේදී,දෙපාර්ශ්වය උපායමාර්ගික වැදගත්කමක් ඇති පොදු ඉරණමක් සහිත චීන-වියට්නාම ප්‍රජාවක් ගොඩනැගීම නිවේදනය කළ බවත්, එමඟින් පක්ෂ දෙක සහ රටවල් දෙක අතර සබඳතා නව අවධියකට ගෙන යන බවත් ෂී ජින් පිං මහතා සඳහන් කළේය.

මෙම වසර චීනය සහ වියට්නාමය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 75 වන සංවත්සරය සහ “චීන-වියට්නාම මානව හා සංස්කෘතික හුවමාරු වර්ෂය” සනිටුහන් කරන අතර, මෙමගින් පොදු ඉරණමක් සහිත චීන-වියට්නාම ප්‍රජාවක් ගොඩනැගීමට නව සංවර්ධන අවස්ථා ගෙන දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. වියට්නාම නායකයින් සමඟ පක්ෂ දෙක සහ රටවල් දෙක අතර සබඳතා පිළිබඳව ගැඹුරින් අදහස් හුවමාරු කර ගැනීමටත්, පොදු ඉරණමක් සහිත චීන-වියට්නාම ප්‍රජාවක් ගොඩනැගීම සඳහා ඒකාබද්ධව නව සැලැස්මක් සකස් කිරීමටත් මෙවර සංචාරය අවස්ථාවක් කර ගැනීමට බලාපොරොත්තු වන බවත් ෂී ජින් පිං මහතා සිය ලිඛිත දේශනයෙන් කියා සිටියේය.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com