රෝගීන් බැලීමට රෝහල් වෙත යෑම අවම කරන්නැයි ඉල්ලීමක්

රට තුළ පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් බැලීමට යෑම අවම කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රී ධරන් මහතා පවසන්නේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් බැලීමට යාමේදී සෞඛ්‍ය අංශ වෙතින් ලබාදී ඇති උපදෙස් තරයේ පිළිපැදිය යුතු බවය.

අත් සේදීම, මීටරයක සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම සහ මුඛ ආවරණ පැළදීම අත්‍යවශ්‍ය කරුණක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි.

නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා රැගෙන යන ද්‍රව්‍ය රෝගියා මුණගැසී ලබාදීම වෙනුවට සුදුසු ක්‍රමවේද මගින් රෝගියා වෙත ලැබෙන්නට සැළැස්වීම කළ හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.

අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා සඳහා ළඟම තිබෙන රෝහල වෙත ගමන් කරන ලෙස වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් දැනුම් දී ඇත.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com