ලොව සියලු දෙනා සඳහා වඩා යහපත් ලෝකයක් ගොඩ නගමින් අන්තර්ජාතික සාමය හා ආරක්ෂාව තහවුරු කිරිමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහිවිය.එක්සත් ජාතීන්ගේ පෙර ගමන්කරු වූයේ ජාතීන්ගේ සංගමයයි. ප්‍රථම ලෝක යුද්ධය වලක්වාලීමට අසමත් වීම නිසා ජාතීන්ගේ සංගමය සිය ක්‍රියාකාරීත්වය අවසන් කළහ.
මානව ඉතිහාසහය තුළ ප්‍රබලම යුද්ධය වු දෙවන ලෝක යුද්ධයෙන් පසුව බිහි වූ එක්සත් ජාතීන්ගේ සංවිධානය සදහා නම යෝජනා කරන්නේ ඇමරිකානු ජනාධිපති ෆ්රැන්ක්ලින් ඩී. රූස්වෙල්ට් ය.සාමාජික රටවල් 51 ක් සහිතව ආරම්භ වූ මෙම සංවිධානය නිල වශයෙන් උපත ලැබුවේ 1945 ඔක්තෝම්බර් 24 දිනයි.එනම් අදින් වසර 75 කට පෙර ය.
වර්තමානය වන විට එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් ගණන 193 කි.අවසන් වරට එකතු වූ රට දකුණු සුඩානයයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානය පිහිටා තිබෙන්නේ, අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර ය. මේ ගොඩනැගිල්ල මීටර 154ක් උස වන අතර එය මහල් 39කින් සමන්විත ය. ගොඩනැගිල්ල තනා නිම කෙරුණේ 1952 වසරේදී ය.එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ නිල භාෂා ලෙස භාවිතයට ගැනෙන්නේ, අරාබි, චීන, ඉංග්‍රීසි, ප්‍රංශ, රුසියා සහ ස්පාඤ්ඤ යන භාෂා පමණි.
එක්සත් ජාතීන් සංවිධානය ප්‍රධාන කොටස් හයක් යටතේ ක්‍රියාත්මක වේ.
01.මහා මණ්ඩලය
වර්තමානය වන විට මෙහි සාමාජිකයන් ගණන 193ක් වේ.වාර්ෂිකව පැවැත්වෙන මෙම සමුළුවේ දී ගන්නා සියලු තීරණ, තුනෙන් දෙකේ වැඩි ඡන්දයෙන් සම්මත විය යුතු වේ.මහා මණ්ඩලයේ ප්‍රධානියා සභාපතිවරයා ය.ඔහුගේ ධූර කාලය එක් වසරකට සීමා වේ.පසුගිය වසරේ සභාපතිවරයා වූ නයිජීරියා ජාතික ටිජානි මුහමද් ගේ නිල කාලය සැප්තැම්බර් මාසයෙන් අවසන් වන හෙයින් 75 වන මහා මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කරන්නේ තුර්කි රාජ්‍ය තාන්ත්‍රිකයෙකු හා දේශපාලන නායකයෙකු වූ වොල්කන් බොස්කර් ය.
02.ආරක්ෂක මණ්ඩලය
ජාත්‍යන්තර සාමය හා ආරක්ෂාව පවත්වා ගැනීම මෙහි කාර්යභාරය වේ.ආරක්ෂක මණ්ඩලයෙහි සාමාජීකයන් 15 දෙනෙකු සිටිති. නිෂේධ බලය හිමි ස්ථීර සාමාජිකයන් පස් දෙනෙකු ඒ අතර වේ. (චීනය, ප්‍රංශය, රුසියාව, එක්සත් රාජධානිය, සහ එක්සත් ජනපද )ස්ථීර-නොවන සාමාජීකයෝ 10 දෙනෙකු ද සිටින අතර, සැම වසරකදීම ඔවුන්ගෙන් පස්දෙනෙකු තෝරාපත් කර ගනු ලබන්නේ වසර දෙකක සේවා කාලයකටය.(ආර්ජන්ටිනාව, ඕස්ට්‍රේලියාව, චෑඩ්, චිලි, ලක්සම්බර්ග්, ජෝර්දානය, ලිතුවේනියාව, රුවන්ඩා, දකුණු කොරියාව, සහ නයිජීරියාව)මේ වන විට ජර්මනිය, බ්‍රසීලය, ඉන්දියාව සහ ජපානය ද නිත්‍ය සාමාජිකත්වය අපේක්ෂාවෙන් සිටී.
03.ආර්ථික හා සමාජීය මණ්ඩලය
එක්සත් ජාතීන්ගේ අනුබද්ධ ආයතනවල ආර්ථික හා සමාජ කාර්යයන් සම්බන්ධීකරණය කිරීමේ කටයුතු සිදු කරන අතර සාමාජිකයන් ගණන 54 කි. 2020 ජූලි 23 වන දින ආර්ථික හා සමාජ කවුන්සිලයේ හැත්තෑ හයවන සභාපතිවරයා ලෙස පාකිස්තානයේ තානාපති මුනීර් අක්රම්
තේරී පත් විය.
04.භාරකාරත්ව මණ්ඩලය
නිත්‍ය බලවතුන්ගේ එකතු වීමෙන්, භූමී ප්‍රදේශ පාලනය සදහා මෙය කටයුතු කරයි.වර්තමානයේ එක්සත් ජාතීන්ගේ අක්‍රිය ආයතනය ලෙස සැලකෙන්නේ භාරකාර මණ්ඩලයයි.අවසන් වරට භාරකාර කලාපයක් වුයේ ෆැසිපික් දූපත් වල කොටසක් වූ “පලාවු”ය.එය ද 1994 දී එක්සත් ජාතීන්ගේ සාමාජික රටක් බවට පත්විය.
05.අන්තර්ජාතික අධිකරණය
මෙය ලෝක අධිකරණය ලෙස හදුන්වයි . මෙමගින් ජාත්‍යන්තර නීතියට අනුකූලව රාජ්‍යයන් අතර ආරවුල් සමථයකට පත් කරන අතර ජාත්‍යන්තර නීතිමය ගැටළු පිළිබඳ උපදේශාත්මක අදහස් ලබා දෙයි. මහා මණ්ඩලය හා ආරක්ෂක මණ්ඩලය විසින් තෝරාගන්නා ලද ස්වාධීන විනිශ්චයකරුවන් 15 දෙනෙක්ගෙන් යුක්ත මෙහි විනිශ්චයකරුවෙකුගේ සේවා කාලය වසර 9ක් ලෙස සඳහන් වේ.මෙහි විනිසුරුවරයෙකු ලෙස ශ්‍රී ලාංකිකයෙක් ද කටයුතු කර ඇත.ජාත්‍යන්තර අධිකරණයේ උප සභාපති ලෙස ද කටයුතු කළ ඔහු නමින් සී.ජී.වීරමන්ත්රී ය.
06.මහ ලේකම් කාර්යාලය
එක්සත් ජාතීන්ගේ ප්‍රධාන පරිපාලන ආයතනයයි.මෙහි ප්‍රධානියා ආරක්ෂක මණ්ඩලයේ නිර්දේශ මත, මහා මණ්ඩලය විසින් පස් අවුරුදු කාලයක් දක්වා පත් කරන මහ ලේකම්වරයා යි. ඔහු ජාත්‍යන්තර ප්‍රජාවගේ ප්‍රකාශකයා ලෙස ද, සාමාජික රාජ්‍යවල සේවකයා ලෙස ද හඳුන්වනු ලබනවා. වර්තමානයේ එක්සත් ජාතීන්ගේ 9 වන මහ ලේකම් ලෙස හිටපු පෘතුගාල් අගමැති ඇන්තෝනියෝ ගුටෙරස් කටයුතු කරයි.
අන්තර්ජාතික අධිකරණය නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටා ඇති අතර, අනෙක් අභ්‍යන්තර ආයතන සියල්ල එක්සත් ජාතීන්ගේ නිව්යෝර්ක් මූලස්ථානයේ කේන්ද්‍රගතව පිහිටා තිබෙනවා.
මෙම සංවිධානයේ එතෙක් – මෙතෙක් ඉතිහාසය ගත් විට, එහි මහා සභාවකදී දීර්ඝතම දේශනයක් පවත්වා තිබෙන්නේ 1957 වසරේදී ය. එම දේශනය පවත්වා තිබෙන්නේ වී.කේ. ක්රිෂ්ණ මෙනන් නමැති ඉන්දීය දේශපාලනඥයා ය. ඔහු පැය 8ක් පුරා සිය දේශනය පවත්වා තිබේ. කතාවට විෂය වී තිබෙන්නේ ඉන්දියාවේ කාශ්මීරය පිළිබඳ ගැටලුව ය.
එක්සත් ජාතීන්ගේ මෙහෙවර ආරම්භ වු සංවර්ධනය වන රටවල් අතර,ලංකාවද එක් සමාජිකයෙකි. 1952 දී මෙම සබඳතා ඇති වුවත් ශ්‍රි ලංකාව 1955 දෙසැම්බර් 14 වැනිදා එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය නිල වශයෙන් ලබා ගැනිමෙන් පසු සබඳතා තව තවත් වර්ධනය විය.
ලෝක සාමය වෙනුවෙන් ක්‍රියා කරන ලොව එකම සහ විශාලතම සංවිධානය වූ එක්සත් ජාතීන්ගේ සාම සාධක පිරිවර 120,000ක් පමණ වේ. ඔවුන් මහාද්වීප හතරක් පුරා සාම ක්‍රියාදාමයෙහි යෙදී සිටිති. සාමය හැරුණුවිට, තවත් බොහෝ සහන සේවා, එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ලෝකයට සැලසේ. රටවල 75ක ජීවත් වන මිලියන 90ක් පමණ ජනයාගේ කුසගිනි නිවන්නේ මෙම ජගත් සංවිධානයයි. මිලියන 34ක් තරම් වූ සරණාගතයන් පිරිසකගේ ගැටලුවලට විදුසදුම් ඇත්තේ ද මෙම ජගත් සංවිධානයේ ම ය.
සියලු දේශසීමා බිද දමා ගෝලීය වසංගතයට මුහුණ දෙමින් සිටින කාලවකවානුවක එක්සත් ජාතීන් සිය 75 වන සංවත්සරය සමරයි.ඒ වෙනුවෙන් ‘එක්ව ගොඩනගමු අනාගතය අපේ’ යන්න තේමා කර ගනිමින් UN75 ලොව විශාලතම ගෝලීය සංවාදය පැවැත්වේ.අද වන විට, සෑම රටකින්ම සහ සෑම තරාතිරමකම පුද්ගලයින් මිලියනයකට අධික සංඛ්‍යාවක් ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කර ඇත. මෙම අභියෝගාත්මක අවස්ථාවේදී,
ඔවුන්ගේ පිළිතුරු ලෝකයට ඉතා වැදගත් වනු ඇත.
සංවත්සරයට සමගාමීව පසුගිය 21 වන දා ලෝක නායක සමුළුව ද පැවැත්විණි .”බහුපාර්ශවිකවාදය විකල්පයක් නොව අවශ්‍යතාවයක් “යන්න මෙවර තේමාව විය.එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රාජ්‍යයන්හි නායකයින් 160 දෙනෙකු වීඩියෝ තාක්ෂණය ආධාරයෙන් සංවත්සර සමුළුව සඳහා සහභාගී විය .
75 වසරක මෙහෙවර සමග ඉදිරියට ගමන් කරන එක්සත් ජාතීන්ට ලෝක පුරවැසියන් වෙනුවෙන් අභියෝග රැසකට මුහුණ දිමට සිදුව ඇත.ලෝක බලවතුන්ගේ සැගවුණු න්යායපත්ර වලට පක්ශපාතී නොවී සියලු රටවල් හමුවේ සමානාත්මතාවයකින් කටයුතු කිරීමේ වගකීම එක්සත් ජාතීන් සතුව ඇත.මිනිසාට මෙන්ම ස්වභාව දහමට ද විනාශකාරී බලපෑම් කරන දේශගුණික විපර්යාස අභිමුඛ තිරසර සංවර්ධන අභිමතාර්ථ සාක්ෂාත් කර ගැනීමට සාමාජිකයන් මෙහෙයවීමට සිදුව ඇත.මානව අයිතීන් උදුරා ගන්නා ත්‍රස්තවාදය තුරන් කරමින් ලෝක ප්‍රජාවගේ ආරක්ෂාව තහවුරු කිරීමේ කාර්යභාරය ද ඉටු කිරීමට සිදුව ඇත.මෙම සියලු අභියෝගයන්ට සාර්ථකව මුහුණ දෙමින් වඩා යහපත් ලොවක් නිර්මාණය කිරීමට එක්සත් ජාතීන් වගකීමෙන් යුතුව කටයුතු කරනු ඇතැයි ලෝක ප්‍රජාවගේ පොදු අපේක්ෂාවයි.
-ධීරේ-
More Stories
නවාකාරයෙන් යුත් චීන සංවර්ධනය පිළිබිඹු කෙරෙන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය
සංකීර්ණ ගෝලීය තත්ත්වය හමුවේ සහයෝගීතා තවදුරටත් ශක්තිමත් කරමින් ඇරඹෙන 16 වන බ්‍රික්ස් නායක සමුළුව
සමස්ත ක්‍රියාවලියේ ජනතා ප්රජාතන්ත්රවාදය චීනය ආශ්චර්ය දෙකක් නිර්මාණය කිරීමේ වැදගත් සහතිකයකි