CVID19 මර්ධන එන්නතක් ගැන සුබ ආරංචියක්

කොවිඩ් වසංගතය නැවතත් ලොව පුරා දරුණු ආකාරයෙන් පැතිරෙමින් ඇති තත්ත්වය තුළ දැන් වයිරසයට එරෙහි එන්නතක් පිළිබඳව යළිත් විශාල අවධානයක් යොමුවන්නට පටන් ගෙන තිබේ. මීට අදාළව කිසියම් සතුටුදායක පුවතක් පසුගිය දා බ්‍රිතාන්‍යයෙන් වාර්තා විය. ඒ එරට ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රාසෙනෙකා ඖෂධ සමාගම අත්හදා බලමින් සිටින එන්නතට අදාළවය.

මෙම එන්නත තරුණ වියේ අය තුළ මෙන්ම වියපත් පුද්ගලයන් තුළද වයිරසයට එරෙහි ප්‍රතිශක්තිය ඉහළ දැමීමට සමත් වී ඇතැයි අත්හදා බැලීම්වල දී හෙළි වී ඇති බව ඇස්ට්‍රාසෙනෙකා සමාගම පසුගිය සඳුදා (26 වැනිදා) නිවේදනය කර තිබිණි. එමෙන්ම වියපත් පුද්ගලයන් තුළ එන්නත නිසා දරුණු ආකාරයේ අතුරු ආබාධ ඇති වී නොමැති බවද සඳහන් වේ.

කොරෝනා වයිරසය සඳහා අත්හදා බැලෙමින් ඇති එන්නත් විශාල සංඛ්‍යාවක් අතරින් ඔක්ස්ෆර්ඩ් එන්නත ඉදිරියෙන්ම සිටින්නකි. එය, ලෝකයට හඳුන්වා දෙන පළමු එන්නත් අතරින් එකක් වනු ඇති බවටද විශ්වාසය පළ වේ. මේ වනවිට එය පවතින්නේ එහි අත්හදා බැලීම්වල අවසන් අදියරේයි. මෙම අදියරේ දී එය පුද්ගලයන් දස දහස් ගණනකට එන්නත් කරනු ලබන අතර විවිධ වයස් කාණ්ඩවල අය ඊට ඇතුළත් වේ.

කොරෝනා වයිරසය නිසා වැඩිම අවදානමක් එල්ල වන කණ්ඩායමක් වන්නේ වියපත් පුද්ගලයන්ය. ඔක්ස්ෆර්ඩ් එන්නත තරුණ අය තුළ මෙන්ම වියපත් අය තුළද එකසේ සාර්ථකව ක්‍රියාත්මක වන බව අනාවරණය වීම වැදගත් සිදුවීමක් වන්නේ මෙම පසුබිම තුළයි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com