බුදු සසුනේ සිදුවූ වැදගත් සිදුවීම් රැසක් සිහිකරන වප් පුර පසළොස්වක පොහෝ දිනය අදයි.
වස් සමාදන් වූ භික්ෂූන් වස් පවාරණය කරන්නේ ද අද දිනයේ ය.
එදා බුදු වදන අදටත් සුරැකෙමින් පෙර වස් එළැඹී පවාරණය කරන භික්ෂූන් වහන්සේට කැප වූ කඨින චීවරය රැගත් පෙරහර ගම්වාසීන්ගේ සාධු නාදය මධ්‍යයේ ගම් නියම් ගම් කරා පිවිසෙන චීවර මාසයේ ආරම්භක පොහොය වන්නේ අදයි.
බුද්ධත්වයෙන් සත්වන වස තව්තිසා දෙව්ලොව වස් විසූ බුදුපියාණන් වහන්සේ මාතෘ දිව්‍ය රාජයාට විජම් බණ දේශනා කර රන් ඉනිමඟක් මතින් පෙළහර පා දඹදිව සංකස්ස පුරට වැඩම කළේ ද වප් පුර පසළොස්වක පොහොය දිනකදී ය.
බුදුරදුන්ගේ මෙම දෙව්ලොව චාරිකාව පිළිබඳ විස්තරය දේවාවරෝහණ වර්ණනාවෙහි සඳහන් වෙයි. මෙසේ වැඩම කළ බුදුපියාණන් වහන්සේ පුන්සඳ මඬලක් සේ දිදුළමින් සවණක් ගන බුදු රැස් මාලාවන් දස අත විහිදුවා ලූ සේක.
මේ අසිරිමත් දසුනින් පළමුවරට ඔද වැඩුණු සැරියුත් තෙරණුවෝ සිරිපා කමල මත වැඳ වැටුණේ උතුරා යන බුද්ධාලම්භන ප්‍රිතියෙනි. මෙහි දී රැස් වූ දෙව් බඹුන් මිනිසුන් මධ්‍යයේ බුදුහිමියන් විමසූ ප්‍රශ්න රැසකට පිළිතුරු දීමට සමත් වූ සැරියුත් හිමියෝ ප්‍රඥාවන්තයින් අතුරින් අග්‍ර වූයේ වප් පුර පසළොස්වක පොහොය දිනකදී ය.
සොලොස් අසංක්‍ය කල්ප ලක්ෂයකට පසු මතු බුදුවන මෛත්‍රී බෝසතාණෝ මෙම ධර්ම සංවාදය ඇසීමෙන් අපමණ සතුටට පත් වී ගෞතම බුදු සසුනෙහි පැවිදි වූයේ වප් මහේ පුර පසළොස්වක පොහොය දිනකදී ය. ලාංකික මවුපියන්ට දාව උපත ලබා ලක් බිමේ මුල්ම රහතන් වහන්සේ වූ අරිට්ඨ මහ රහතන් වහන්සේ ලංකාවේ ඉගෙන ගත් විනය පිටකය ථූපාරාම සීමා මාලකයේ දී සංගායනා කළේ අද වැනි වප් පුර පසළොස්වක පොහොය දිනකදී ය.
සංඝමිත්තා මහ රහත් තෙරණියන් වහන්සේත් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවකුත් මෙරට වැඩම කිරීමට අවශ්‍ය බව දන්වන සංදේශය රැගත් අරිට්ඨ කුමරු සමඟ රාජකීය දූත පිරිස දඹදිව රම්‍ය වූ පැළලුප් නුවරට පිටත් වූයේ අද වැනි වප් පුර පසළොස්වක පොහොය දිනකදීය. සංදේශය ලබා ගත් අශෝක රජතුමා මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේගේ උපදෙසින් බුද්ධ අධිෂ්ඨානය සිහි ගන්වමින් බෝ සමිඳුන් වෙත පිවිසියේ ය. මහා ප්රාතිහාර්ය පාමින් බෝ සමිඳුන්ගෙන් වෙන්වුණු දක්ෂිණ ශාඛාව මුල් සියයක් අද්දවමින් රන් කටාරමෙහි පිහිටියේ අද වැනි පින්බර වප් මහේ පුර පසළොස්වක පොහොය දිනකදී ය.
කොරෝනා තත්ත්වය හමුවේ අවම පිරිසකගේ සහභාගීත්වයෙන් කඨින පූජෝත්සවය පවත්වන්නැයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව දිවයිනේ සියලු විහාරස්ථාන වෙත දැනුම් දෙයි.
එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගත වෙමින් අත්‍යාවශ්‍ය අංගවලට පමණක් සීමා වෙමින් කඨින පූජෝත්සවය පවත්වන ලෙසයි.
එහිදී අදාළ ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කිරීම අනිවාර්යය වෙයි.
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තු නිවේදනයේ වැඩිදුරටත් දැක්වූයේ, කඨින චීවරය තැම්පත් කර ඇති ස්ථානයේ සිට කෙටිම දුරකින් විහාරස්ථානයට වැඩම කළ හැකි ආකාරයෙන් මෙවර කඨින පූජෝත්සවය පැවැත්වීම සිදු කළ යුතු බවයි.
More Stories
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට