ට්‍රම්ප් පරදා බයිඩ්න් ධවල මන්දිරයට ගියෙ කොහොමද?

ඇමරිකා එක්සත් ජනපදය ප්‍රාන්ත 50 කින්, ෆෙඩරල් දිස්ත්‍රික්කයකින්, ස්වයං පාලන ප්‍රදේශ පහකින් සහ තවත් දූපත් කිහිපයකින් සමන්විතයි.වර්ග සැතපුම් මිලියන 3.8 ක වූ භූමි ප්‍රදේශයක් සහිත මෙය සමස්තයක් ලෙස ලෝකයේ සිව්වන විශාලතම රට වේ. මිලියන 328 කට වැඩි ජනගහනයක් වාසය කරන ඇමරිකාව ලෝකයේ තුන්වන වැඩිම ජනගහනය සහිත රට ද වේ.

ලෝකයේ විශාලතම ආර්ථිකය වන එක්සත් ජනපදය ලෝකයේ විශාලතම ආනයනකරු සහ දෙවන විශාලතම භාණ්ඩ අපනයනකරු ද වනවා. ලෝකයේ ප්‍රමුඛතම හා ප්‍රබලම මිලිටරි බලය හිමි ඇමරිකාව අභ්‍යාවකාශ හමුදාවක් ද නිර්මාණය කර තිබෙනවා.මෙම සියලු ශක්තීන් අනුව ආර්ථික හා දේශපාලනික වශයෙන් ලෝකය හසුරවමින් ලෝක බලවතා ලෙස ,මේ සියවස තුළ ද තවමත් ඇමරිකා එක්සත් ජනපදය සිය අධිකාරිත්වය හිමි කර ගෙන සිටිනවා.

ලොකයේ සංකීර්ණම හා ප්‍රබලම මැතිවරණය වන එක්සත් ජනපද මැතිවරණය ලෝකයේම අවධානයට ලක් වූවක්.මෙවර ජනාධිපතිවරණය එහිලා වඩාත් තීරණාත්මක වුණා. එක්සත් ජනපදයේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් අතර බලය තීරණය වනවා.ඒ ඩිමොක්‍රටික් පක්ෂය හා රිපබ්ලිකන් පක්ෂයයි.මෙම පක්ෂ නියෝජනය කරමින් ප්‍රතිවිරුද්ධ අදහස් සහිත ප්‍රබලයන් දෙදෙනෙකු මෙවර අපේක්ෂකයන් ලෙස තරග කළා.74 හැවිරිදි රිපබ්ලිකන් අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ 78 හැවිරිදි ඩිමොක්‍රටික් පක්ෂ අභියෝගකරු වන ජෝ බයිඩන් අතර පැවැත්වූ මෙම සටන මුල සිටම තීරණාත්මක වුණා.ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාම 70 ට වැඩි පුද්ගලයන් වන පළමු ඇමරිකානු ජනාධිපතිවරණය වන්නේ ද මෙයයි.

අවසන් වූ මෙම මැතිවරණය මෙම ශතවර්ෂයකට පසු වාර්තා වූ ඉහළම මැතිවරණ සහභාගිත්ව ප්‍රතිශතය වාර්තා කළා .බයිඩන්ගේ ජයග්‍රහණය ආසියාවට පමණක් නොව ලෝක ඉතිහාසයටම බලපාන ජයග්‍රහණයකි.ටයිම්ස් සඟරාවට අනුව මෙය මෙම සියවසේ වූ ප්‍රජා විප්ලවයකි. වසර 4 ක් ධූර කාලය දරමින් සමස්ත ලෝකයේම බලවතකු ලෙස ට්‍රම්ප් පෙනී සිටියා.ජාතිකවාදී අදහස් දැරූ ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ පරාජය ලෝකයේ භූ දේශපාලනික දිශාව වෙනස්ම මගකට යොමු වන බවට වන ඉගියක් විය හැකියි.

මේත් සමගම 1992 වසරේ දී ජෝර්ජ් එච්.ඩබ්ලිව්. බුෂ්ගෙන් පසු දෙවන ධුර කාලසීමාව සඳහා පැවති සටනින් පරාජයට පත් වන පළමු අපේක්ෂකයා බවට ද ඩොනල්ඩ් ට්‍රම්ප් පත්වනවා. මෙම මැතිවරණයෙන් හිටපු උප ජනාධිපතිවරයෙකු වූ ජෝ බයිඩන් ජයග්‍රහණය කිරීම රිපබ්ලිකන් පාක්ශිකයින්ට දැඩි පීඩනයක් බවට පත්ව තිබෙනවා.

මේ අනුව ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් ඇමරිකාවේ 46 වන ජනාධිපති ලෙස ධවල මන්දිරයට යාමට අවස්ථාව උදා කර ගත්තා.

සමස්ත ප්‍රථිපලය

මෙම ජයග්‍රහණයත් සමගම ජෝ බයිඩන් එක්සත් ජනපදයේ තේරී පත් වූ වයස්ගතම ජනාධිපතිවරයා වනවා.ජෝ බයිඩන් බැරක් ඔබාමා ගේ උප ජනාධිපතිවරයා ලෙස වසර 8 ක් කටයුතු කළ පළපුරුදු දේශපාලන නායකයෙක් වනවා. මෙම ජයග්‍රහණය සමග උප ජනාධිපති ලෙස නීතිපති ලෙසත් ,සෙනෙට් සභිකයෙක් ලෙසත් කටයුතු කළ කමලා හැරිස් තේරී පත් වනවා.ඇය ඉන්දියානු -ඇමරිකා සහ අප්‍රිකානු – ඇමරිකා සම්භවයක් සහිත 56 හැවිරිදි කාන්තාවකි.ඇමරිකාවේ උප ජනාධිපතිවරියක් ලෙස තේරී පත් වූ පළමු කළු ජාතික කාන්තාව සහ පළමු ආසියානු -ඇමරිකානුවා ලෙස ද ඇය ඉතිහාසගත වනවා.

නව උප ජනාධිපති කමලා හැරිස්

ට්‍රම්ප්ගේ ක්‍රියාකලාපයන්ට සම්පූර්ණයෙන්ම විරුද්ධ ප්‍රතිපත්ති සමග ජෝ බයිඩන් මැතිවරණයට ඉදිරිපත් වුණා.කොරෝනා වසංගතයෙන් මිදීම සදහා ආශ්‍රිතයින් හඳුනා ගැනීමේ ජාතික වැඩපිළිවෙලක් ස්ථාපනය කිරීම,සෑම ප්‍රාන්තයක ම අවම වශයෙන් පරීක්ෂණ මධ්‍යස්ථාන 10 ක් පිහිටුවීමට හා කොරෝනා වෛරස පරීක්ෂණ සැමට නොමිලේ සැපයීම බයිඩන්ගේ සැලැස්මයි.ට්‍රම්ප්ගේ බදු කපා හැරීම වෙනුවට, ඉහළ ආදායම් ලබන්නන් කෙරෙහි ඉහළ බදු අය කිරීම බයිඩන් ගේ බදු ප්‍රතිපත්තියයි.

ඔබාමා පාලන සමයේ හඳුන්වා දුන් සෞඛ්‍ය වැඩපිළිවෙල වූ දැරිය හැකි උවටැන් පනත’ (Affordable Care Act – ACA) යළි ආරම්භ කර පුළුල් කිරීමටත් බයිඩන් අපේක්ෂා කරනවා. ලෝකයම දේශගුණික අර්බුදයට පිළියම් සොයද්දී ට්‍රම්ප් එය නොසලකා හැරිය ද බයිඩන් වහාම පැරිස් දේශගුණික සම්මුතිය හා යළි එක්වන බව මැතිවරණයට පෙර ප්‍රකාශ කරා. විදේශ ප්‍රතිපත්ති තුළ දී මිත්‍ර පාර්ශව සමග ඇති සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ද බයිඩන් අපේක්ෂා කරනවා.චීනය මත පනවා ඇති බදු ඉවත් කරන බවත්,චීනය සමග යම් සන්ධානයක් ගොඩ නගා ගැනීමට ද බයිඩන් අපේක්ෂා කරනවා.

ඇමරිකානු ආභාසය මත ලොව පුරා පැතිරුණු ජාතිවාදී ,වර්ගවාදී ගැටුම් පරාජය වීම මෙම ජයග්‍රහණයේ මූලිකම සංකේතය බව ද විචාරකයන් පෙන්වා දෙනවා.එමෙන්ම ජනප්‍රියවාදී, ඒකාධිපතිවාදී ප්‍රවණතාවය ජාත්‍යන්තර වශයෙන් පරාජයවීමක් ද මෙම ජයග්‍රහණයෙන් පෙන්නුම් කෙරෙන බවට මත පළවනවා. නමුත් ජාත්‍යන්තර සම්බන්ධතා සමබන්ධයෙන් ඩිමොක්‍රටික් මැදිහත්වීම අතීතයේ පරිදිම සිදු වුවහොත් එය ලෝකයේ රටවල ස්වාධීනත්වයට බලපෑමක් විය හැකියි.ඩිමොක්‍රටික් නායකයින් බෝහෝ විට අනෙක් රටවල් වල අභ්‍යන්තර ප්‍රශ්න වලට මැදිහත්වීම තවදුරටත් සිදු වුවහොත් එය ප්‍රශ්න රැසක ආරම්භයක් ද විය හැකියි.

-ධීරේ-

WP Twitter Auto Publish Powered By : XYZScripts.com