ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ දෙවන අදියර සඳහා ක්රීඩකයින් තෝරා ගැනීම මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය කර තිබේ.
එම ක්රීඩක තෝරා ගැනීම් සම්බන්ධයෙන් ට්විටර් ඔස්සේ සටහනක් තබමින් හිටපු ක්රිකට් නායක මහේල ජයවර්ධන පවසන්නේ මෙම තරගාවලිය සෑබෑ දක්ෂතාවයන් වර්ධනය කිරීමේ දේශීය තරගාවලියක් බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය අමතක නොකළ යුතු බවය.
මෙවර ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලිය සඳහා ජැෆ්නා කිංග්ස්, කලම්බු ස්ටාර්ස්, ගෝල් ග්ලැඩියේටර්ස්, කැන්ඩි වොරියර්ස් සහ දඹුල්ල ජයන්ට්ස් යන කණ්ඩායම් තරග වදින අතර එම කණ්ඩායම් සඳහා ක්රීඩකයින් තෝරාගැනීම ඊයේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදුකෙරුණි.
එහිදී තරගාවලියට සහභාගී වන කණ්ඩායම් 5ට ප්රධාන දේශීය ක්රීඩකයින් ලෙස තෝරා ගැණුනේ තිසර පෙරේරා, ඉසුරු උදාන, දසුන් ශානක, දුෂ්මන්ත චමීර සහ චරිත් අසලංක යන ක්රීඩකයින්ය.
එම කණ්ඩායම්වල ප්රධාන විදෙස් ක්රීඩකයින් ලෙස ඉම්රාන් තහීර්, ක්රිස් ගේල්, මොහොමඩ් හෆීස්, රෝමන් පවෙල් සහ ෆෆ් ඩුප්ලෙසීස් යන ක්රීඩකයින් තෝරාගැණුනි.
නමුත් වත්මන් ශ්රී ලංකා ක්රිකට් පිටියේ අත්දැකීම් බහුලම ක්රීඩකයින් වන ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත් පෙරේරා සහ ධනංජය ද සිල්වා යන ක්රීඩකයින් කිසිඳු කණ්ඩායමක් විසින් තෝරාගෙන නොමැත.
ඊට අමතරව ශ්රී ලංකා කණ්ඩායම නියෝජනය කළ තරුණ ක්රීඩකයින් වන අකිල ධනංජය, ප්රවීන් ජයවික්රම, සදීර සමරවික්රම සහ මිනෝද් භානුකටද කිසිඳු කණ්ඩායමක ස්ථානයක් හිමිනොවීම විශේෂත්වයකි.
කෙසේතෙවත්, විනය කඩකිරිමේ චෝදනාවලට ලක්ව දඬුවම් ලැබ සිටින කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල යන ක්රීඩකයින් තිදෙනා කණ්ඩායම් 2ක් විසින් තෝරා ගැනීම ද කාගේත් අවධානයට ලක්ව තිබේ.
මෙවර තරගාවලිය සඳහා ක්රීඩකයන් තෝරා ගැනීම් සහ ඇතැම් තෝරා නොගැනීම් කුතුහලය දනවන බවත් එක් අඩියක් ඉදිරියට තබන විට අඩි 5ක් පසුපසට තබන්නේ නම් රටකට ඉදිරියට යාමට අපහසු බවත් සිය ට්විට්ර් ගිණුමේ සටහනක් තබමින් හිටපු ශ්රී ලංකා ක්රිකට් නායක මහේල ජයවර්ධන පවසා ඇත.
ඔහු වැඩිදුරටත් පවසන්නේ මෙම තරගාවලිය සැබෑ දක්ෂතාවයන් වර්ධනය කිරීමේ දේශීය තරගාවලියක් බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය අමතක නොකළ යුතු බවය.
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්රී ලංකා ක්රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්රීඩා උළෙල ඇරඹීමට සූදානම්