ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකාදැමීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් එම දත්ත පවත්වාගෙන ගිය ‘එපික් ලංකා ටෙක්නොලොජීස්’ ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවරයා එළඹෙන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
එම පැමිණිල්ල අද (18) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික. සී .රාගල මහතා ඉදිරියේ කැඳවීමෙන් අනතුරුව එම නියෝගය ලබාදී ඇත.
එහිදී විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටී රජයේ නීතිඥ ජයනී වෑගොඩපොළ මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම සැකකරු අත්අඩංගුවටගත් අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී ලැප්ටොප් දෙකක්, ටැබ් යන්ත්‍රයක්, ජංගම දුරකථන තුනක් සහ දත්ත බහලුම් දෙකක් අත්අඩංගුවටගත් බව සඳහන් කළේය.
එම උපකරණ සියල්ල රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික පරීක්ෂණාගාරය වෙත යොමුකර විමර්ශනයක් සිදුකොට වාර්තාවක් කැඳවීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස රජයේ නීතිඥවරිය ඉල්ලීම් කළාය.
එම ඉල්ලීම පිළිගත් මහෙස්ත්‍රාත්වරයා අදාළ උපකරණ රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට ද නියෝග කළේය.
එමෙන්ම රිමාන්ඩ් භාරයට පත්කර සිටින එම සැකකරුගෙන් තවදුරටත් ප්‍රකාශයක් ලබාගැනීමට අවශ්‍යව තිබෙන බවත් ඒ සඳහා මේ මස 21 වනදා සිට 23 වනදා අතර කාලසීමාව තුළ බන්ධනාගාරය තුළදී එම ප්‍රකාශය සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අවසර දෙන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසත් රජයේ නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලීම් කළාය.
එම ඉල්ලීම පිළිගත් මහෙස්ත්‍රාත්වරයා අදාළ ප්‍රකාශ සටහන් කර ගැනීමට ඉඩදෙන ලෙස බන්ධනාගාර බලධාරීන්ට නියෝග කළේය.
මෙහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා ඇපමත මුදා හරින්නැයි ඉල්ලා සිටියේය.
අනතුරුව මහෙස්ත්‍රාත්වරයා විත්ති පාර්ශවයේ නීතිඥවරයාට නියම කළේ එම ඉල්ලීම ලිඛිතව ලබන 25 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.
අනතුරුව තමන්ගේ ස්ථාවරය අධිකරණයට ලිඛිතව ඉදිරිපත් කරන බව රජයේ නිතිඥවරිය සඳහන් කළාය.
අනතුරුව නඩුව ලබන 25 වනදා කැඳවීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා එතක් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද නියෝග කළේය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්