චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන අප්‍රිකා සහයෝගතා සංසදයේ බෙයිජිං සමුළුවේ සමාරම්භක උළෙලට එක් වේ. එම උළෙල අද (5) පෙරවරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේදී පැවැත්විණ.
‘අත්වැල් බැඳ ගෙන නවීකරණය ඉදිරියට ගෙන යමින් පොදු ඉරණමක් සහිත ප්‍රජාව එක්ව ගොඩනැගීම’යන මැයෙන් ඔහු එහිදී ප්‍රධාන දේශනය සිදු කළේය.
2000 වසරේදී චීන අප්‍රිකා සහයෝගතා සංසදය පිහිටුවන ලද බව ෂී ජින් පිං මහතා එහිදී පැවසීය.ගෙවුණු වසර 24 තුළ, චීනය සහ අප්‍රිකාව අත්වැල් බැඳගෙන එකිනෙකාගේ නීත්‍යනුකූල අයිතිවාසිකම් ස්ථීර ලෙස ආරක්ෂා කරමින් සිටි බව ඔහු පෙන්වා දුන්නේය. ආර්ථික ගෝලීයකරණය මධ්‍යයේ දෙපාර්ශ්වය ශක්තිමත්ව ඉදිරියට ගමන් කරමින් සිටින අතර, ඵලදායි ප්රතිලාභ විශාල ප්‍රමාණයක් චීන සහ අප්‍රිකා ජනතාවට හිමි වී ඇති බව චීන ජනාධිපතිවරයා පැවසීය. දැවැන්ත ව්‍යසන සහ වසංගත හමුවේ පවා දෙපාර්ශ්වය එක්ව රැඳීසිටි අතර, චීන-අප්‍රිකානු මිත්‍රත්වය පිළිබඳ සංවේදී කතා රැසක් එහිදී නිර්මාණය වී තිබේ. චීනය සහ අප්‍රිකාව මුල සිටම අන්‍යේන්‍ය අවබෝධය සහිතව එකිනෙකාට සහාය දෙන අතර, ජාත්‍යන්තර සබඳතාව සඳහා නව ආකාරයේ ආදර්ශයක් බිහිකර ඇති බව ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.
චීනය සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වන සියලු අප්‍රිකානු රටවල් සමඟ ද්විපාර්ශ්වික සබඳතා උපායමාර්ගික සබඳතා මට්ටමට ඉහළ නංවන බව ෂී ජින් පිං මහතා ප්‍රකාශ කළේය. චීන-අප්‍රිකා සබඳතා සමස්තයක් වශයෙන් නව යුගයේ සර්ව කාලීන පොදු ඉරණමක් සහිත චීන-අප්‍රිකා ප්‍රජාවක් බවට පත් කරන බවටද චීන ජනාධිපතවරයාගේ දේශනයේ දී සඳහන් කෙරිණ.
චීනය හා අප්‍රිකාව අංග හය කින් සමන්විත නවීකරණය එක්සත් ව ප්‍රවර්ධනය කළ යුතු බව ෂී ජින් පිං මහතා එහිදී පැවසීය. සාධාරණ මෙන්ම යුක්තිසහගතබව, විවෘතභාවය හා පොදු ජයග්‍රහණ සහිත වීම, ජනතා කේන්ද්‍රීයභාවය, විවිධත්වය මෙන් වෙනස්කම් පිළිගැනීම, ජෛව පාරිසරික හිතකරභාවය සහ සාමය හා සුරක්ෂිතතාව එම නවීකරණයේ ප්‍රධාන අංග වේ.
නවීකරණ ශිෂ්ටාචාර පිළිබඳ අන්‍යෝන්‍ය අධ්‍යයන, සමෘද්ධිමත් වෙළඳාම, කර්මාන්ත දාම සහයෝගිතාව, අන්‍යෝන්‍ය සබඳතා හා සන්නිවේදන කටයුතු ඇතුළු ක්ෂේත්‍ර 10 ක් හවුල්කාරී මෙහෙයුම් ලෙස ක්‍රියාවට නැංවිය යුතු බව ද චීන ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. සංවර්ධන සහයෝගිතාව, සෞඛ්‍ය සේවාව, කෘෂිකර්මාන්තයේ වර්ධනය, ජනතා සුබසෙත සැලසීම, උසස් තත්ත්වයේ මානව හුවමාරු, හරිත සංවර්ධනය සහ ඒකාබද්ධ ආරක්ෂාව තහවුරු කිරීම මීට ඇතුළත් සෙසු ක්ෂේත්‍ර වේ. ඉදිරි වසර 3 තුළ මෙම හවුල්කාරී මෙහෙයුම් 10 අප්‍රිකාව සමග එක්ව ප්‍රවර්ධනය කිරීම චීනයේ අපේක්ෂාව බව ද ෂී ජින් පිං මහතා එහිදී පැවසීය.
නවීකරණ සංවර්ධන අවස්ථාව කිසිදු රටකට අහිමි නොවිය යුතුය. නවීකරණ ගමනේදී බිලියන 2.8 ක චීන-අප්‍රිකානු ජනතා බලය එක්රැස් කර ගෝලීය දකුණු කලාපයේ නවීකරණය ප්‍රවර්ධනය කරමින් සාමය, ආරක්ෂාව, සමෘද්ධිය හා ප්‍රගතිය සහිත සුන්දර අනාගතයක් කරා ලෝකය එක්ව මෙහෙයවිය යුතු බව ද හෙතෙම අවධාරණය කළේය.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි