ශ්‍රේෂ්ඨ මව්බිමේ ප්‍රබල සහාය ඇතිව මැකව් කලාපය නව දියුණුවක් හා දීප්තියක් අත්කර ගනු ඇත–චීන ජනපති

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඊයේ(19) රාත්‍රියේ මැකව් විශේෂ පරිපාලන කලාප රජයේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ පිළිගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගී වූ අතර එහිදී වැදගත් දේශනයක් ද සිදු කළේය. 

පසුගිය වසර පහ තුළ මැකව් විවිධාංගීකරණ ආර්ථික වර්ධනයෙන් නව ප්‍රතිඵල අත්කර ගෙන ඇති බවත්, ජන ජීවිතය නව මට්ටමකට ළඟා වී ඇති බවත් ෂී ජින්පිං මහතා පෙන්වා දුන්නේය. ඒ සමගම ‘දේශප්‍රේමය හා මැකව් කලාපය වෙත ඇල්මෙන් කටයුතු කිරීම’ පිළිබඳ දේශපාලන හා සමාජීය පදනම වඩාත් තහවුරු වී ඇති අතර කලාපයේ ජාත්‍යන්තර බලපෑම සහ ප්‍රසිද්ධිය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව ද ඔහු කියාසිටියේය. 

පසුගිය වසර පහ තුළ මැකව්හි සංවර්ධනයෙන් කැපී පෙනෙන ජයග්‍රහණ අත්කර ගෙන ඇත්තේ, “එක් රටක් ක්‍රම දෙකක්” ප්‍රතිපත්තිය විස්තීර්ණ හා නිවැරදිව ක්‍රියාත්මක කිරීම, මධ්‍යම රජයේ සහ මව්බිමේ ප්‍රබල සහයෝගය සහ ජාත්‍යන්තරයේ ක්‍රියාකාරී සහභාගීත්වය හේතුවෙනි. එය කලාපීය රජය සමාජයේ විවිධ පර්ෂද ඒකාබද්ධ කර කාර්යක්ෂමව ක්‍රියා කිරීමේ ප්‍රතිඵලයකි.

ෂී ජින්පිං ජනාධිපතිවරයා මැකව් කලාපය සඳහා නව අපේක්ෂා තුනක් ඉදිරිපත් කළේය. 

පළමුවැන්න, ගුවාන්ග්දොං-‍හොංකොං-මැකව් මහා බොක්ක කලාපයේ සංවර්ධනය ඇතුළු ජාතික සංවර්ධන උපායමාර්ග සමග වඩාත් ක්‍රියාශීලිව සම්බන්ධ විය යුතු අතර ජාත්‍යන්තර වේදිකාවේ වැඩි ශක්‍යතාවක් විදහා පෑමට උත්සාහ කිරීම ය.

දෙවැන්න, ‘දේශප්‍රේමය සහ මැකව් වෙත ඇල්මෙන් කටයුතු කිරීමේ ධජය’ යටතේ වඩාත් විවෘතභාවයෙන් හා සමගියෙන් යුතුව, ලොව පුරා සිටින ප්‍ර‍වීණයින් මැකව් වෙත ආකර්ෂණය කර ගැනීමය. 

තෙවැන්න, ධෛර්යසම්පන්නව ප්‍රතිසංස්කරණ හා නවෝත්පාදනය සිදු කරමින් “එක් රටක්, ක්‍රම දෙකක්” ප්‍රතිපත්තියේ වාසි වඩා හොඳින් විදහා පාමින් මැකව්හි සංවර්ධනයේ නව තත්ත්වයක් නිර්මාණය කිරීම ය.

ශ්‍රේෂ්ඨ මව්බිමේ ප්‍රබල සහාය ඇතිව මැකව් විශේෂ පරිපාලන කලාපයට අඛණ්ඩව නව දියුණුවක් හා දීප්තියක් ඇති කිරීමට හැකි වනු ඇතැයි විශ්වාස කරන බව ෂී ජින්පිං මහතා වැඩිදුරටත් පවසා ඇත.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com